ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී, මංගල විජේසිංහ මහතා පවසයි.මෙය 2024 අදාළ කාලය හා සසඳන විට 7% වැඩිවීමකි.
2025 සැප්තැම්බර් මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන සහ සේවා අපනයන යන දෙකම ඇතුළත් සමස්ත අපනයන ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,469.75ක් දක්වා ළඟා වී ඇත. එය 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 12.33%ක වර්ධනයකි. මෙමගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගවල ඵලදායීතාව පෙන්නුම් කරයි.
අපනයන අංශයේ ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය:
" අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය මගින් ගෝලීය වෙළඳාමට ශ්‍රී ලංකාව ගැඹුරින් ඒකාබද්ධ වීම සහ අපනයන තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ වෙළඳපොළ අවස්ථා විවිධාංගීකරණය කිරීමට අප ගන්නා අඛණ්ඩ උත්සාහයන්ගේ සාර්ථකත්වය පිළිබිඹු කරයි. ගෝලීය අභියෝග හමුවේ අපගේ අපනයනකරුවන් නැවත වරක් කැපී පෙනෙන ස්ථාවරත්වය පෙන්නුම් කර ඇත.
2025 සැප්තැම්බර් වන විට සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 13 ට ළගාවීම අපගේ අපනයන ප්‍රජාවගේ ශක්තිය සහ අධිෂ්ඨානය සනාථ කරන සාක්ෂියකි. තුන්වන කාර්තුව අවසන් වන විට අපගේ වාර්ෂික අපනයන ඉලක්කයෙන් 72%කට වඩා දැනටමත් අත්පත් කර ගෙන ඇති හෙයින් අඛණ්ඩ සහයෝගීතාව සහ උපායමාර්ගික ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකාව 2025 අපනයන ඉලක්කයට සාර්ථකව ළඟා වන බවට අපි විශ්වාසයෙන් සිටිමු."
මැණික් ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තු ආදායම ඇතුළුව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ තාවකාලික දත්ත වලට අනුව 2025 සැප්තැම්බර් මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව15.02%ක වර්ධනයක් ලබා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,163.66ක් දක්වා ළඟා විය.
2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය සඳහා වෙළඳ භාණ්ඩ අපනයන එක්සත් ජනපද ඩොලර් මිලියන 10,240.52ක් වූ අතර එය 2024 එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 7.59%ක වැඩිවීමකි.
මේ අතර, සේවා අපනයන සමස්ත අපනයන වර්ධනයේ ප්‍රධාන බලවේගයක් ලෙස මතු වී ඇත. 2025 සැප්තැම්බර් මාසයේදී, සේවා අපනයන මගින් ලැබෙන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 306.09ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. වසරේ පළමු කාර්තු තුන පුරා සේවා අපනයන 4.48%ක වැඩිවීමක් ලබා ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර එය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,746.03ක් වේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂ්‍රේත්‍රය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරයි