Friday, November 22, 2024
Follow Us
සහල් හිඟය හඳුනාගනිමු - ආචාර්ය වගීෂා ගුණසේකර

මේ දිනවල ශ්‍රී ලංකාවේ විශාල ආන්දෝලනයක් ඇති කර තිබෙන මාතෘකාවක් වන්නේ සහල් හිගයයි. සාමාන්‍ය ජන ජීවිතවලට තදින් බලපාන මෙම සහල් හිගය සහ සහල් මිල සරලව වටහා ගැනීමට නම් දත්ත කිහිපයකට අප අවධානය යොමු කළ යුතුය. පළමුව නිෂ්පාදනය දෙස බලමු.

ශ්‍රී ලංකාවේ වාර්ෂික වී නිෂ්පාදනය මෙට්‍ර්ක් ටොන් දස ලක්ෂ 2.4ත් 2.9ත් අතර අගයක පවතී. මෙයින් 60%ක් පමණ වන්නේ නාඩු වී වර්ගයයි. අප සැම දන්නා කරුණක් වන්නේ මෙම නාඩු වීවලින් රතු සහ සුදු කැකුලූත්, තම්බන ලද නාඩු සහල් වර්ගත් සකසන බවයි. ඉතිරි 40%න් 22%ක් වන්නේ සම්බා වර්ගයයි. මේවා කීරි සම්බා, රතු සම්බා සහ සූදුරු සම්බා වැනි සහල් සැකසීමට ගනු ලැබේ. ඉතිරි 12% වෙනත් දේශීය වී වර්ග වේ. මෙහිදී අප මතක තබා ගත යුතු එක කරුණක් වන්නේ වී මෙට්‍ර්ක් ටොන් දස ලක්ෂ 2.4කින් සහල් මෙට්‍ර්ක් ටොන් දස ලක්ෂ 2.4ක්ම සැකසිය නොහැකි බවයි. වී කොටා සහල් සැකසීමේ ක්‍රියාවලියේදී වී පොතු, නිවුඩු සහ හුනුසහල් වැන්න ඉවත් වූ පසු නිෂ්පාදනය වන සහල්වල බර මුල් අගයෙන් 55%ක් 65% අතර වේ. එබැවින් අපට දළ වශයෙන් උපකල්පනය කළ හැක්කේ වී මෙට්‍ර්ක් ටොන් දස ලක්ෂ 2.4කින් සහල් මෙට්‍ර්ක් ටොන් දස ලක්ෂ 1.5ක් පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බවයි.

දෙවනුව සහල් පරිභෝජනය දෙස බලමු. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සහල් මෙට්‍ර්ක් ටොන් දස ලක්ෂ 2.8ක් පරිභෝජනය වේ. මෙහි දක්වා ඇති වගුවෙන් පෙන්වනු ලබන්නේ ශ්‍රී ලාංකිකයන් සුදු සහ රතු කැකුලූ සහ නාඩු ආහාරයට ගැනීමට වැඩි නැඹුරුවක් දක්වන බවයි.

මෙම ආහාර රටාවට සහල් මිලද එක හේතුවක් විය හැකිය. එනම් රතු සහ සුදු කැකුලූවල සාමාන්‍ය මිල රු.85ත් නාඩු කිලෝවක මිල රු.90ත් වනු ඇත. මෙයට සාපේක්ෂව බලන විට සම්බා වර්ගවල මිල අධික වේ. උදාහරණයක් ලෙස ගතහොත් කීරි සම්බා කිලෝවක් රු. 125 වනු ඇත.

තෙවනුව වීවලින් සහල් සැකසීම සහ විකිණීම යන වාණිජ ක්‍රියාදාමය දෙස බලමු.

ශ්‍රී ලංකාවේ මෝල් හිමියන් කාණ්ඩ 3කට වර්ග කළ හැකිය. එනම් මහා පරිමාණ, මධ්‍යම සහ කුඩා පරිමාණ මෝල් හිමියන්ය. මෙයින් මහා පරිමාණ මෝල් හිමියන් අතළොස්සකි. ඔවුන් බහුතරයක් ක්‍රියාත්මක වන්නේ පොළොන්නරු දිස්ත‍්‍රික්කයෙන්ය. ඔවුන්ට අතිවිශාල ගබඩා (Silos) පහසුකම් සහ සහල් තැම්බීමේ යන්ත්‍ර ඇත. මෙම යන්ත‍්‍ර උපයෝගී වන්නේ සම්බා වර්ග සහ නාඩු සහල් සැකසීමටය. මධ්‍යම සහ කුඩා වී මෝල් හිමියන් බහුතරයකට ගබඩා සහ තාක්ෂණික පහසුකම් නැති හෙයින් ඔවුහු කැකුලූ සහල් පමණක් සැකසීමට නැඹුරුවක් දක්වති.

සිව්වනුව වර්තමානයේ ඇති වී තිබෙන ආන්දෝලනය වටහා ගනිමු. වත්මන රජය විසින් සහල්වල පාලන මිල වශයෙන් කැකුලූ රු.85ක්, නාඩු රු.90ක්, කීරි සම්බා රු.125ටක් ආදී වශයෙන් මිල නියම කර ඇත. මේ අනුව කීරි සම්බා සහ අනෙකුත් බහුල ලෙස පරිභෝජනය වන සහල් වර්ග අතර මිල පරතරයක් ඇති නමුත් මේ සියල්ලගේම වී ගැනුම් මිල රු.50කි. මෙයින් අදහස් වන්නේ කීරි සම්බා කිලෝවකින් වැඩි ලාභයකුත්, කැකුලූ සහ නාඩුවලින් අඩු ලාභයකුත් මෝල් හිමියාට ලැබෙන බවයි. වර්තමානයේ මහා පරිමාණ මෝල් හිමියන්ට කරන චෝදනාව වනුයේ, තම විශාල ගබඩාවන්හි නාඩු සහ කැකලූ සහල් සගවා ගෙන කීරි සම්බා වෙළඳපොලට මුදා හැරීමට බලපෑම් කරන බවයි. විවිධ ජනමාධ්‍යයන්හි පෙන්වූ ආකාරයට තොග වෙළඳුන් කැකුලූ සහ නාඩු සහල් මිලදී ගැනීමට ඇනවුම් යවන විට එම සහල් වර්ග හිග බවත් ඒ වෙනුවට කීරි සම්බා මිලදී ගන්නා ලෙස මහා පරිමාණ මෝල් හිමියන් බලපෑම් කරන බවත් අනාවරණය විය. මෙයින් පැහැදිලි වන්නේ පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ වෙසෙන අතළොස්සක් මහා පරිමාණ මෝල් හිමියන්ට ශ්‍රී ලංකාවේ සහල් ඒකාධිකාරයක් ඇති බවයි.

 

පසුගිය දිනවල ජනමාධ්‍යයේ විවිධ විචාරකයින්ගේ දෝෂාරෝපණයට ලක් වූයේ සහල් ඒකාධිකාරය දරණ මේ මහා පරිමාණ මෝල් හිමියන් අතළොස්සයි.

එහෙත් මෙහිදි අප මධ්‍යස්ථව සහ ප්‍රායෝගිකව සලකා බැලිය යුත්තේ මෙම ඒකාධිකාරය ඇතිවීමට බලපා ඇති හේතු සාධක දෙසය. මහා පරිමාණ මෝල් හිමියන් වනාහි සහල් වටා නිර්මාණය වී ඇති දේශපාලන ආර්ථිකයේ (Political Economy of Rice) ඉහළ පෙළේ ප්‍රතිලාභ ලබන කොට්ඨාසයකි. ඔවුන් සහ රාජ්‍ය අතර ඇති දීර්ඝකාලීන සම්බන්ධතාවල ප්‍රතිපලයක් ලෙස ඔවුන් විශාල ප්‍රාග්ධනයක් රැස් කොට ගෙන ඇත. මෙය අපේ රටේ සහල් කර්මාන්තයට පමණක් සීමාවුණු ප්‍රවණතාවයක් නොවන බව අප කවුරුත් දන්නේය. මෙම මහා පරිමාණ මෝල් හිමියන් සතු ප්‍රාග්ධනය, තාක්ෂණය සහ ගබඩා පහසුකම් නිසා ඔවුන්ට දිනකට වී කිලෝ ලක්ෂ ගණනක් වුවත් ගබඩා කර ගැනීම අපහසු කාර්යයක් නොවේ. ඔවුන් සතුව ඇති විශාල ගබඩා ධාරිතාව හේතුවෙන් මේ දිනවල කිලෝව රු.55 බැගින් වී මිලදී ගෙන ගබඩා කරන බවට ආරංචි ලැබේ. මහා පරිමාණ මෝල් හිමියන් සතුව ඇති වී මිලදී ගැනීමේ සහ ගබඩා කර තැබීමේ හැකියාව සහල් ඒකාධිකාරයට ඍජුව බලපාන සාධකයකි.

මෙයට බලපාන අනෙක් සාධකය වන්නේ මධ්‍යම සහ කුඩා මෝල් හිමියන්හට වී මිලදී ගැනීමට රජය විසින් ප්‍රායෝගික ක්‍රමවේදයක් හඳුන්වා දී නැති බවයි. අතීතයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ‘ඔඩපන’ නමැති ණය (Pledge Loan) පහසුකමක් වී මොල් හිමියන් වෙත ලබා දී තිබුණි. එමගින් කරනු ලැබුවේ මෝල් හිමියන්ගේ ගබඩා කිරීමේ ධාරිතාව සලකා බැලීමෙන් පසු ඔවුන්ට වී මිලදී ගැනීම සඳහා 7%ක පොලී අනුපාතයකට ණයක් ලබා දීමයි. එවකට වීවල ගැනුම් මිල රු.50ට වඩා අඩු අගයක තිබුණු අතර මෙම ණය පහසුකම ප්‍රයෝජනයට ගනිමින් මධ්‍යම සහ කුඩා මෝල් හිමියෝ ලාභ ලැබිය හැකි මට්ටමකට තමන්ගේ ව්‍යාපාර ගෙන ගියෝය. එහෙත් අද වන විට මෙම ‘ඔඩපන ණය’ (Pledge Loan) සංකල්පය දියවී ගොස් ඇත. ඒ වෙනුවට 16%ක පොලී අනුපාතයකට වාණිජ බැංකු විසින් Revolin Loan නමැති ණය ක්‍රමයක් හඳුන්වා දී ඇත. එහෙත් මෙම පොලී අනුපාතය ඉහළ අගයක ඇති නිසාත්, සහල්වලින් ලැබෙන ලාභ ප්‍රතිශතය අඩු නිසාත් වර්තමානයේ මධ්‍යම සහ කුඩා පරිමාණයේ මෝල් හිමියන් අන්ත අසරණභාවයට පත්වී ඇත. මේ වන විට ලංකා බැංකුව පමණක් (Pledge Loan) ක්‍රමය 11%ක පොලී අනුපාතයකට ක්‍රියාත්මක කරයි. එහෙත් අද තිබෙන ගැනුම් සහ අලෙවි මිල සැලකීමට ගත් කල මෙම පොලී අනුපාතයට අනුව ආයෝජනයක් කළ හොත් ලාභ ලැබිය නොහැකිය. මෙම කාරණා හේතු කොටගෙන මධය්‍යම සහ කුඩා පරිමාණයේ මෝල් ගණනාවක් අද අක්‍රීය වී ඇත. මේ හිඩැසෙන් වාසිය සැලසෙන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ටය. ඔවුන් තව තවත් වී ගබඩා කොට තමන්ට අවශ්‍ය අවස්ථාවේදී ඒවා වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් යොදා ඇත. එහෙත් මෙම ප්‍රවණතාවය සම්පූර්ණයෙන් දෝෂාරෝපණයට ලක් කිරීම සාධාරණ ද නොවේ. රජය විසින් මධ්‍යම සහ කුඩා පරිමාණ මෝල් හිමියන්ට වී මිලදි ගැනීම සඳහා කිසිදු ප්‍රායෝගික මැදිහත්මක් නොකරන බැවින් එහි වාසිය ඇති වී ඇත්තේ මහා පරිමාණ මෝල් හිමියන්ට බව සැබෑවකි. එහෙත් එම මහා පරිමාණ මෝල් හිමියන් ගොවීන්ගේ වී මිලදී ගනු ලබන නිසා ගොවියා අපහසුතාවට පත් වී නැත. මෙය ධනාත්මක ලෙස දැකිය යුතුය.

මහා පරිමාණ මෝල් හිමියන් කන්න අවසානයේ විශාල වශයෙන් වී මිලදී නොගත හොත් ගොවීන්ට තම වී විකුණා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත් වනු ඇත.

පසුගිය වරවල මෙවැනි හේතූන් නිසා ගොවීන් තම ජීවිතද හානි කරගත් බව අප මතක් කර ගත යුතුය. සහල් ඒකාධිකාරය බිහි වී ඇත්තේ සහල් වටා නිර්මාණය වූ දේශපාලන ආර්ථිකය නිසාය. මෙම තත්ත්වය උත්සන්නවීමට ඍජුවම බලපාන සාධකය නම් රජය මධ්‍යම සහ කුඩා පරිමාණ මෝල්හිමියන්ට වී මිලදී ගැනීම සඳහා කිසිදු ප්‍රායෝගික මැදිහත්වීමක් නොකිරීමයි. ඒකාධිකාරයක් බිඳ දැමීම සඳහා කළ යුත්තේ එක දෙයක් පමණි. එනම් වී මිලදී ගැනීමේ වෙළඳපොල තරගකාරිත්වය වැඩි කිරීමයි. ඒ සඳහා මධ්‍යම සහ කුඩා පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කළ යුතුය. නැවත Pledge Loan සංකල්පයක් හඳුන්වා දීම රජයට ගත හැකි එක් පියවරකි. එහෙත් එය සූක්ෂමව සැලසුම් කළ යුතුය. පළමුව, බැංකු විසින් තම ප්‍රදේශයේ වෙසෙන මෝල් හිමියන් හඳුනාගත යුතුය. ඔවුන්ගේ විශ්වසනීය බව සහ වී ගබඩා කිරීමේ ධාරිතාව හොඳින් ඇස්තමේන්තු කළ යුතුය. දෙවනුව මධ්‍යම සහ කුඩා පරිමාණ මෝල් හිමියන්ට ලාභයක් ලැබිය හැකි අයුරින් ‘ඔඩපන ණය’ (Pledge Loan) ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. වර්තමානයේ ඇති වී ගැනුම් මිල සහ සහල්වල විකුණුම් මිල සලකා බලන විට ක්‍රමයට ප්‍රායෝගිකව ගැලපෙන පොලී අනුපාතයක් වන්නේ 4%ක පමණ අගයකි. එවැනි pledge loan ක්‍රමයක් හඳුන්වා දුන හොත් මධ්‍යම සහ කුඩා පරිමාණයේ මෝල් හිමියන්ට නැවත හිස එසවීමට හැකියාව ලැබෙනු ඇත. තෙවනුව, බැංකු විසින් මෙම ණය ක්‍රමය ක්‍රියාත්මක කරන විට එක් එක් මෝල් හිමියෙක් විසින් ගත් ණය මුදල සහ ඊට සම්බන්ධ වී ප්‍රමාණය මධ්‍යගත දත්ත ගබඩාවකට ඇතුළත් කළ හැකිය. එමගින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශකම සෑම කන්නයේම අවසානයේ එක් එක් මෝල් හිමියෙක් සතු වී ප්‍රමාණය නිර්ණය කර ගැනීමට හැකිවේ. මෙම පියවර මහා දත්ත ජාල විශ්ලේෂණ Big Data Analystics යන සංකල්පය සරල වශයෙන් ආහාර නිෂ්පාදනය සහ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට ද යෙදවිය හැකිය.

අවසාන වශයෙන් රජයට කරන ඉල්ලීම වන්නේ සහල් හිගයට පිළිතුරු සෙවීමට නම් ප්‍රශ්නය පැහැදිලිව වටහා ගන්නා ලෙසත්, මධ්‍යම සහ කුඩා වී මෝල් හිමියන් ශක්තිමත් කර සහල් ඒකාධිකාරය දිය කර හැරීමට පියවර ගන්නා ලෙසත්ය.

(Aththa)