Friday, November 22, 2024
Follow Us
ගොවියා දපනේ දැමූ පළිබෝධනාශක මන්ත්‍රය ඇසුවෙමු

ශ්‍රී ලංකා රජය වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට පමණක් ඩොලර් මිලියන 261 වාර්ෂිකව වැය කරති. (CBSL 2018) බෝගවලට වැලඳෙන විවිධ රෝග පාලනය සඳහා පරිසර හිතකාමී සාම්ප්‍රදායික ක්‍රම භාවිත කිරීමටද සාම්ප්‍රදායික වී සහ එළවළු රාශියක් වගා කිරීමටද පුරුදු වූ ප්‍රෞඪ ඉතිහාසයක් ඇති හෙළ ගොවිතැනට සිදුවූයේ කුමක්ද? ශ්‍රී ලංකාවේ ගොවීන් සාම්ප්‍රදායික ප්‍රභේද සහ ශිල්පීය ක්‍රම අත්හැර රසායනික පොහොර, කෘත්‍රිම වල්නාශක, පළිබෝධනාශක සහ දෙමුහුන් බෝග යොදා ගැනීමට හේතු වූ දේශපාලන - ආර්ථික ක්‍රියාවලිය කුමක්ද? මෙම ක්‍රියාවලි මගින් අපේම මහ පොළොවට පුරුදු බීජ වගා කොට පරිසර හිතකාමී පොහොර යොදා බතක් එළවළුවක් සාදා ගත් ජාතියක මුහුණ දෙන ඉරණම පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වගීෂා ගුණසේකර පැහැදිලි කරයි.

අප අද මුහුණ දෙන ඉරණම ආරම්භ වූයේ නව යටත් විජිතවාදී (Neocolouial) ව්‍යුහයෙන් උපත ලැබූ ‘‘හරිත විප්ලවයෙනි.’’

Norman Borlaug නමැති ඇමෙරිකානු කෘෂිකාර්මික ආර්ථික විද්‍යාඥයා (Agricultural economist) දෙවැනි ලෝක යුද සමයේ ඇමෙරිකාවේ Du Pont සමාගමේ කෘෂිකාර්මික බැක්ටීරියා - නාශක, දිලීර නාශක සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය පිළිබඳ අත්හදා බැලීම් කළේය. මෙම කාලයේදීම ඇමෙරිකාවට පක්ෂපාතී Avila Camacho අවීල කමාචෝ මෙක්සිකෝවේ ජනාධිපති ධුරයට පත් විය. කමාචෝගේ මූලික ඉලක්කය වූයේ මෙක්සිකානු කෘෂිකර්මාන්තය, කාර්මීකරණය කිරීමකි. කමාචෝගේ අභිලාෂයන් ඇමෙරිකාවේ ආර්ථික සහ මිලිටරි අවශ්‍යතාවන්ට ප්‍රයෝජනවත් බව දුටු එක්සත් ජනපදයේ උප ජනාධිපති හෙන්රි වොලස් මෙක්සිකානු රජය සමග කටයුතු කිරීමේ වැදගත්කම රොක්ෆෙලර් පදනමට ඒත්තු ගැන්වූයේය. Rockefeller පදනමේ නිර්මාතෘ ජෝන් ඩී. රොක්ෆෙලර් නමැති ඇමෙරිකානු කෝටිපතියාය. ඔහු ඇමෙරිකාවේ ධනවත්ම සහ බලවත්ම පුද්ගලයෙක් වූයේය. රොක්ෆෙලර් පදනම විසින් Office of Special Studies නමැති කාර්යාලයක් මෙක්සිකෝවේ පිහිටුවා එහි පාංශු සංවර්ධනය, බඩ ඉරිඟු සහ තිරිඟු නිෂ්පාදනය සහ ශාක ව්‍යාධි විද්‍යාව (Plant Pathology) පිළිබඳ විවිධ පර්‌යේෂණ මෙහෙයවිය. එහි එක් විද්‍යාඥයෙක් වූයේ Norman Borlaug ය. නෝමන්ගේ පර්‌යේෂණ සාර්ථක ප්‍රතිඵල දැරුවේය. ඒවා විවිධ ප්‍රකාශන මගින් ගෝලීය තලයේ සමාජගත විය. නෝමන් බෝර්ලග් විසින් නිර්මාණය කරන ලද වැඩි අස්වැන්නක් ලබා දෙන ‘‘ආශ්චර්යමත් බීජ’’ (Miracle seeds) ලෝක ප්‍රකට විය. 1963 මාර්තු මාසයේ ඇමෙරිකානු රජය සහ රොක්ෆෙලර් පදනම විසින් නෝමන් බෝර්ලග්ව ඉන්දියාවට පිටත් කෙරිණ.

බෝර්ලග් ඉන්දියාවට හඳුන්වා දුන් ‘‘ආශ්චර්යමත් බීජ’’ විසින් දියත් කරන ලද ‘‘හරිත විප්ලවය’‘ පන්ජාබ් ප්‍රාන්තයෙන් ආරම්භ විය. අස්වනු වැඩි වී පන්ජාබ් ප්‍රාන්තයේ ගොවියන්ගේ ජීවන මට්ටම ඉහළ යාම නිසා බෝර්ලග් විසින් ඉන්දියාව ‘‘හිඟමන් පාත්‍රයක සිට පාන් කූඩයක්’’ (From a begging bowl to a bread basket) බවට පරිවර්තනය කළ බවට විශාල කීර්තියක් ලැබුවේය. 1970දී ඉහළ අස්වැන්නක් ලබා දෙන තිරිඟු ප්‍රභේද නිර්මාණය කිරීම වෙනුවෙන් බෝර්ලග්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදී. මේනිසා Norman Borlaug ‘‘හරිත විප්ලවයේ පියා’‘ ලෙස සැලකේ. මෙලෙස ‘‘හරිත විප්ලවය’’ යන වචනයෙන් පු​රෝකතනය වූයේ ඉහළ අස්වැන්නක් සහිත තිරිඟු සහ සහල් ප්‍රභේද, රසායනික පොහොර, කෘමිනාශක, පළිබෝධනාශක සහ නවීන තාක්ෂණය මුල් කොටගත් නව වගා ක්‍රමවලින් සමන්විත පැකේජයකි.

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය වැඩිවීමට එකම හේතුව හරිත විප්ලවය බව සමහරුන්ගේ මතයයි. එහෙත් 1970 දශකය වන තුරුම ගොවීන්ගේ ස්ව උත්සාහය මත පදනම් වූ කෘෂිකාර්මික සංවර්ධන ප්‍රතිපත්තියක් අප රට අනුගමනය කරමින් සිටියේය. ඉඩම් ප්‍රතිසංස්කරණය දේශපාලන අවශ්‍යතාවක් ලෙස සලකනු ලැබූ අතර, නිදහසින් පසු පත්වූ රජයන් ගොවීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට විවිධ පියවර ගත්හ. කෙසේ වෙතත්, ලාංකික ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විද්‍යාඥයන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ පුනර්ජීවනය සඳහා පාරිසරික වශයෙන් සුදුසු විකල්පයන් සකස් කරමින් සිටියදී, ජාත්‍යන්තර සංවිධාන (International NGOS) සහ රොකෆෙලර් වැනි විශාල ඇමෙරිකානු ආයතන කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳ වෙනත් දැක්මක් කූට ලෙස ගෝලීය තලයේ, විශේෂයෙන් ආසියාතික රටවල ප්‍රචලිත කළහ. මෙයට මූලික හේතුව වන්නේ චීනයේ එවකට ව්‍යාප්තවී තිබූ සංස්කෘතික විප්ලවයයි. (Cultural Revolution) චීනයේ අඩිපාරේ වෙනත් ආසියාතික රටවල් යෑම වැළැක්වීම ඇමෙරිකාවේ අභිප්‍රාය විය. ආසියාවේ අලුතින් ස්වාධීන වූ රටවල් ස්ථාවර කිරීමේ පියවරක් ලෙස කෘෂිකර්මාන්තයත් ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ ජීවන රටාත් ගෝලීය ධනවාදී පරිපථයට (Global Capitalist Circuit) සම්බන්ධ කිරීම අත්‍යවශ්‍ය ලෙස ඇමෙරිකාව සැලකුවේය. මෙම ක්‍රියාදාමයට මුල් වූයේ රොකෆෙලර් පදනම, ෆෝඩ් (Ford) පදනම එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) සහ ලෝක බැංකුවයි. ඇමෙරිකානු රජයේ සහ එම සමාගම්වල අලෙවිකරණ සටන් පාඨය වූයේ, නවීණ තීව්‍ර ගොවිතැන් ක්‍රමයක් හඳුන්වාදීම තුළින් තුන්වන ලෝකයේ කෘෂිකර්මාන්තය අතීතයේ විලගුවලින් නිදහස් කිරීමයි.

කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වී තිබූ අවස්ථාවේ බටහිර කෘෂි රසායන සමාගම් විසින් නිෂ්පාදනය කරන කෘෂි රසායන තුන්වැනි ලෝකයේ රටවලට දැඩි බලපෑම් එල්ල කළේය. 1960 දශකයේ අග භාගය වන විට ශ්‍රී ලංකාවේ ගොවිතැන හරිත විප්ලවයෙන් හඳුන්වාදුන් රසායනික ද්‍රව්‍ය මත පදනම් වූ එකක් බවට පත් විය. එහෙත් මුල් කාලයේ හඳුන්වාදුන් පොහොරවලට දේශීය සහල් ප්‍රභේද සාර්ථක ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. එවිට බෝර්ලග්ගේ පර්‌යේෂණ තුළින් නිෂ්පාදනය වූ සහල් ප්‍රභේද අප රටේ ගොවීන්ට හඳුන්වා දෙනු ලැබීය. මෙම නව සහල් ප්‍රභේදවලට (Dwarf varieties) කෙටි සහ තද කඳක් ඇති නිසා රසායනික පොහොර අවශෝෂණය කර ගැනීමට ඇති හැකියාව වැඩිය. මෙම සහල් ප්‍ර‍භේද ඉහළ අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද නමින් අලෙවි වුණි. එහෙත් මේවා ඉහළ අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද යනුවෙන් හැඳින්වීම වැරදිය. මෙම හැඳින්වීමෙන් ඇඟවෙන්නේ නව බීජ ස්වභාවයෙන්ම ඉහළ අස්වැන්නක් ලබා ගන්නා බවයි. එහෙත් එය එසේ නොවේ. මෙම බීජවල කැපී පෙනෙන ලක්ෂණය නම් පොහොර, ජලය, කෘෂි රසායන වැනි යෙදවුම්වලට ඒවා ඉහළ ප්‍රතිචාරයක් දැක්වීමයි. එනිසා ඒවා ඉහළ ප්‍රතිචාර දක්වන ප්‍රභේද යනුවෙන් හැඳින්වීම වඩා සුදුසුය.

ශ්‍රී ලංකාවේ ගොවීන් අතර ඉහළ ප්‍රතිචාර දක්වන වී ප්‍රභේද කඩිනමින් ව්‍යාප්ත විය. 1958 වර්ෂයේ වී වපුරන භූමි ප්‍රමාණයෙන් 3%ක නව වී ප්‍රභේද වගා කරන ලද අතර 1970 වන විට එය 60% දක්වා ඉහළ ගියේය. 1980 වන විට වී වැපුරූ මුළු භූමි ප්‍රමාණයෙන් 83%ක පිටරටින් ගෙන්වන ලද ඉහළ ප්‍රතිචාරයක් දක්වන වී ප්‍රභේද වගා කරන ලදී.

1965 ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ පත්වීමත් සමග ගොවිතැන යාන්ත්‍රීකරණය සඳහා විදේශ ආධාර බොහෝමයක් ශ්‍රී ලංකාවට ලැබිණි. ඩඩ්ලි බලයට පත්වීම සම්බන්ධයෙන් මුලින්ම ප්‍රතිචාර දැක්වූයේ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ බැංකු කිහිපයකි. ඔවුන් වහාම ශ්‍රී ලංකා මහ බැංකුව සමග ණය ගිවිසුමක් අත්සන් කළෝය. ප්‍රථමයෙන් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 4ක්ද හදිසි විධිවිධානයක් ලෙස තවත් මිලියන 2ක්ද ණය ලබා දුන්හ. මීට අමතරව බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් රුපියල් මිලියන 21.71ක පොලී රහිත ණයක් ලබා දුන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පොහොර, ට්‍රැක්ටර්, වාහන සහ වෙනත් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය කිරීම සඳහාය.

එම නිසා කෘෂිකාර්මික ණය යන සංකල්පය හරිත විප්ලවය සාර්ථක කර ගැනීමට වැදගත් විය. අලුත් ණය ක්‍රම හඳුන්වා දීමට පෙර ද කෘෂිකර්මයේ නියැළෙන පවුල්වලින් 60% පමණ සැලකිය යුතු මට්ටමකින් ණයගැති භාවයෙන් පෙලෙන බව 1957 දී කරන ලද සමීක්ෂණයකින් හෙළි විය. එහෙත් එකල බහුතරයක් ණය ගොවීන් විසින් ලබාගෙන ඇත්තේ ඥාතීන්, හිතමිතුරන්, ඉඩම් හිමියන් සහ වෙළෙඳුන්ගෙන්ය. හරිත විප්ලවය මගින් හඳුන්වාදුන් යෙදවුම් සහ තාක්ෂණය මිල දී ගැනීමට ගොවීන් තව තවත් ණය ගැනීමට පෙළඹූ බව 1970 දශකයේ කළ සමීක්ෂණ මගින් හෙළි වේ. එමගින් ග්‍රාමීය මට්ටමේ ණය සපයන්නන් පොලී මුදලාලි ද නාගරික වාණිජ මූල්‍ය සමාගම් ද කෙමෙන් මෙම ක්‍රියාදාමයට සම්බන්ධ වී ඇත. 1970 සහ 80 දශකවල කෙරුණු සමීක්ෂණවලින් අනාවරණය වන්නේ ග්‍රාමීය මට්ටමේ ප්‍රභූවරුන් (local elite) සහ රජයේ කෘෂිකාර්මික නිලධාරීන් අතර තිබූ සම්බන්ධතා නිසා හරිත විප්ලවයෙන් රට තුළට හඳුන්වා දුන් බොහෝ යෙදවුම් සහ උපකරණ ගොවීන්ට වඩා ග්‍රාමීය මට්ටමේ ධනවත් පුද්ගලයින් අතට පත් වූ බවයි. එම නිසා ඔවුන්ට ආසාධාරණ වාසියක් ලැබුනේ යැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියට පෙර යුගයේ කෘෂි රසායන සහ කෘෂි තාක්ෂණික උපකරණ මෙරටට ආනයනය කළේ රටේ ටෙන්ඩර් පදනම අනුවය. එහෙත් 1977 ලිබරල්කරණ ප්‍රතිපත්තියෙන් පසු මෙරටට ආනනය කරන පළිබෝධනාශක ප්‍රමාණය නිශ්චිත ලෙස වැඩි වී තිබේ. මෙම ආනයනික කෘෂි රසායන සීග්‍රයෙන් රට තුළ අලෙවි කිරීමට ප්‍රධාන පාර්ශ්වකරුවන් කාණ්ඩ 3ක් ඇත.

කෘෂි රසායන සමාගම්, එම සමාගම්වල නියෝජිතයන් සහ සිල්ලර වෙළෙන්දන් එක පාර්ශ්වයකි. දෙවැන්න රජයේ කෘෂිකර්ම සහ ගොවිජන නිලධාරීන්ය.

තෙවැනි පාර්ශ්වය වන්නේ ගොවි සමිතිවල නායකයින් සහ පළාතේ සැලකිය යුතු දියුණුවක් ලබාගෙන ඇති ගොවියෝය.

මෙම පාර්ශ්ව 3 අතර ඉතා සියුම් Nexus (සම්බන්ධතා ජාලාවක්) හැඩ ගැසී ඇත.

ග්‍රාමීය මට්ටමේ සිල්ලර වෙළෙන්දන් සහ ගොවීන් අතර සමීප සම්බන්ධතාවයක් තිබේ. බොහෝ විට ගොවීන් වගා යෙදවීම් සඳහා උපදෙස් ගන්නේ සිල්ලර වෙළෙන්දන්ගෙන්. මෙයට එක් හේතුවක් වී ඇත්තේ සමහර පළාත්වල ගොවිජන නිලධාරීන් සහ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන්ට තිරසර ගොවිතැන් ක්‍රම පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැති බවය. ඇත්ත වශයෙන්ම මෙම නිලධාරීන් කෘෂි රසායන යෙදවුම් මත යැපෙන හරිත විප්ලවය ප්‍රවර්ධනය කරන දැනුම් පද්ධතියක කොටස් කරුවෝය. කෘෂි රසායනික ද්‍රව්‍ය සහ පොහොර භාවිතය සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරීන්ගේ සහාය සහ මග පෙන්වීම නොමැති විට ගොවීන් සිල්ලර වෙළෙන්ඳන්ගේ උපදෙස් මත විශ්වාසය තබති. විවිධ සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සිල්ලර වෙළෙන්ඳන් විසින් තමන්ට වඩාත් ලාභදායී (කොමිස් වැඩි) කෘෂි නිෂ්පාදන මිල දී ගැනීමට ගොවීන්ව පොළඹවන බවයි. කෘෂි රසායන සමාගම් තම නිෂ්පාදන අලෙවි කිරීමට විශාල ආයෝජනයක් කරති. මෙම සමාගම්වල අලෙවිකරණය සඳහා තෝරාගන්නේ උගත්කමෙන් ඉහළ ප්‍රසන්න පෙනුමක් ඇති ගමත් සමඟ සම්බන්ධතා ඇති තරුණයෝය. ඔවුන්ගේ මේ හරිත ජාලය තුළ සිටින පුද්ගලයින් දිරි ගැන්වීම සඳහා කොමිස් වටිනා තෑගි සහ පිටරට සවාරි ද ලබා දෙති. මෙම නියෝජිතයින්ගේ ජාලය දිවයින පුරා ව්‍යාප්ත වී ඇත. ඔවුන් රජයේ කෘෂිකර්ම නිලධාරීන් සමඟ ද ග්‍රාමීය මට්ටමේ සිල්ලර වෙළෙඳුන් සමඟද ප්‍රාදේශීය ගොවි සමිතිවල නායකයන් සහ ප්‍රබලයින් සමග ද දිගුකාලීන අන්‍යෝන්‍ය වශයෙන් වාසි දායක සම්බන්ධතා පවත්වාගෙන යයි. රජයේ කෘෂිකාර්මික නිලධාරීන් අලෙවි කරණ කාර්යය සඳහා යොදා ගැනීමෙන් මෙම ක්‍රියාවලියට නීත්‍යනුකූල බවක් ද සුජාත බවක් ද ඇති කර ගැනීමට සමාගම් සමත් වී ඇත.

තිරසර ගොවිතැන් ක්‍රම හෝ කෘෂි රසායන භාවිත කිරීමේ පූර්වාරක්ෂක දැනුම ගොවීන්ට ලබා නොදී කෘෂිකර්ම නිලධාරීන් නිහඬව සිටිති. එම නිහැඬියාවේ ප්‍රතිඵලයක් ලෙස කෘෂි රසායන සමාගම් විසින්ම ගොවි ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කොට ඇත. එවැනි සමහර වැඩටහන් මගින් කාබනික කෘෂි කර්මාන්තය උදෙසා ගොවීන් අධෛර්යමත් කිරීම දැනටමත් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ. හරිත විප්ලවයේ අදහස් සහ කෘෂිකාර්මික ක්‍රම ක්‍රියාවට නැංවීමට විශාල දායකත්වයක් ලබා දෙන තවත් පාර්ශ්වයක් සිටී.

ඒ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් ‘විද්‍යාත්මක දැනුම’ ඉදිරියට ගෙන යන විද්‍යාඥයින් සහ ආර්ථික විශේෂඥයින්ය. ඔවුන්ගේ ශබ්දකෝෂයේ නිතරම භාවිතා වන වදන් මාලාවක් ඇත. ''Low productivity'' (අඩු ඵලදායිතාව) High yield (ඉහළ අස්වැන්න) agrochemicals (කෘෂි රසායනික ද්‍රව්‍ය) මෙම ත්‍රිත්වය අද වන විට නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ මන්ත්‍රයක් බවට පත් වී ඇත.

එහෙත් මෙය ඔවුන්ගේ අඩුපාඩුවක් නොවේ. ඔවුන්ගේ දැනුම බිහි වී ඇත්තේ ද අප රටේ ව්‍යාප්ත වන යටත් විජිත මානසිකත්වය සහ අධිරාජ්‍යවාදීන්ගේ දැනුම් පද්ධතිය ඉදිරියට ගෙන යන නිදහස් අධ්‍යාපනය තුළින්ය. අප අද ‘‘විද්‍යාව’’ යනුවෙන් සලකන්නේ අධිරාජ්‍යවාදීන් විසින් හඳුන්වා දුන් රේඛීය චින්තනය මිසක, ශ්‍රී ලංකාවට ආවේණික වූ විද්‍යාත්මක දැනුම් පද්ධතිය නොවේ.

සාම්ප්‍රදායික කෘෂිකාර්මික දැනුම ‘ප්‍රාථමික’ යැයි ඔවුන් සිතන්නේ එම නිසාය. සාම්ප්‍රදායික ක්‍රමවලට අනුව සමහර මඩු මල්, කොහොඹ කොළ කලා වැල්, ග්ලිරිසීයා, නවහන්දි සහ අමු ගස්ලබු භාවිතා කරන්නේ විවිධ පළිබෝධ සහ රෝග වැලඳීම වැළැක්වීමටය. ඊට අමතරව පැරණි කෙම් ක්‍රම භාවිතා කොට සත්ත්ව උවදුරු සහ ගොවිතැන සාර්ථක කර ගැනීම සාම්ප්‍රදායික කෘෂිකර්මයේ වැදගත් අංගයන්ය. එහෙත් විද්‍යාඥයින් මේවා ’පැරණි බහු බූත’ ලෙස අවලංගු කොට හාස්‍යයට ලක් කරන්නේ එම ක්‍රම අනුගත වී තිබෙන multi dimensional scientific logic බහුවිධ විද්‍යාත්මක තර්කනය, බටහිර විද්‍යාවේ රේඛීය චින්තනයෙන් වටහා ගත නොහැකි නිසාය.

පසුගිය දිනවල රූපවාහිනියේ ප්‍රවෘත්ති වැඩසටහන්වලින් පෙන්වූයේ පොහොර මිලදී ගැනීමට දින ගණනක් රස්තියාදුවන ගොවීන් සහ තම එළවළු අතිරික්තය විකුණා ගැනීමට නොහැකි වී සිටින අසරණ ගොවීන්ය. මේ අවස්ථා දෙකම හරිත විප්ලවයට සම්බන්ධ එහෙත් ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය.

හරිත විප්ලවයෙන් පසු 1960 සිට 1985 දක්වා කාලය තුළ ලෝකයේ ආහාර නිෂ්පාදනය දෙගුණයකට වඩා වැඩි වීය. 1950 න් පසු දශක 4ක් තුළ ගෝලීය ධාන්‍ය නිෂ්පාදනය 174% කින් ඉහළ ගොස් ඇත. මේ අතරතුර ගෝලීය ජනගහනය ඉහළ ගොස් ඇත්තේ 110%කිනි. වර්තමානයේ ගෝලීය ආහාර අතිරික්තයක් ඇත. මෙතරම් ආහාර ප්‍රමාණයක් ලෝක ඉතිහාසයේම තිබී නැත.

‘‘දෙවන හරිත විප්ලවයක්’’ ගැන දැනටමත් ආරංචි ඇත. පශ්චාත් COVID යුගයේ Molecular biology අණුක ජීව විද්‍යාවට සම්බන්ධ පරිගණකගත කෘෂි කර්මාන්තයක් බිහි වීමට නියමිතය. එමගින් දැනට ඇති ගොවි බිම් නැවත වගා කරනු ඇති අතර ඒ වෙනුවට අධි තාක්ෂණික වගා කුලුනු, ජානමය වශයෙන් වෙනස් කරන ලද බීජ, සහ නව කෘෂි රසායන ද්‍රව්‍ය නිර්මාණය වෙමින් පවතී. ෆින්ලන්තයේ SOLAR FOODS ආයතනය දැනටමත් බිත්තර, මාළු, මස් සහ කිරි රසායනාගාරවල කෘතිමව නිපදවීමට අවශ්‍ය බැක්ටීරියා වර්ග නිෂ්පාදනය පටන් ගෙන ඇත. අප එළඹ ඇත්තේ වැදගත් සන්ධිස්ථානයකටය.

හරිත විප්ලවයෙන් අපට හඳුන්වා දුන් රසායනික සහ අධි බලැති තාක්ෂණික ක්‍රම පැමිණීමත් සමඟ අපේ ගොවීන්ට තම වගාවන් ස්වාධීනව කළමනාකරණය කිරීටම හැකියාවත්, සියවස් ගණනාවක් සහ පරම්පරා ගණනාවක් තිස්සේ ගෙන ආ දේශීය සාම්ප්‍රදායික ගොවිතැන් දැනුම සහ භාවිතයන් ද අහිම විය.

සමහර විට ගොවි ප්‍රජාව මේ අන්තරායන් පිළිබඳ නොදැන සිටියා විය හැකිය. එම නිසා වර්තමානයේ විවිධ ජාතික සහ ජාත්‍යන්තර පර්යේෂණවලින් වාර්තා වන අයුරින් අපේ ගොවීන් කෘෂි රසායන ද්‍රව්‍ය, දෙමුහුන් බීජ, රසායනික පොහොර සහ අනෙකුත් තාක්ෂණික ක්‍රම මත තදබල ලෙස යැපෙති. 1960 සිට ශ්‍රී ලංකාව පිටරටින් බොහෝ ප්‍රශ්න ආනයනය කළ බවට සාක්ෂි අප්‍රමාණව ඇත. මේ එවැනි ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකා රජය වර්තමානයේ පැතිරී යන වකුගඩු රෝගය, පිළිකා, වඳභාවය ආදිය පාලනය කිරීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටියි. හරිත විප්ලවයෙන් කෘෂිකර්මාන්තයේ සමෘද්ධිය උදාවන බව පොරොන්දු කළ ද අද ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ලාභ නොලබන කර්මාන්තයක් ලෙස තහවුරු වී ඇත. ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන නිර්නායකය වන්නේ කුඩා පරිමාණ ගොවීන්ය. නවීන තාක්ෂණික ක්‍රම සහ මිල අධික කෘෂි රසායන කේන්ද්‍ර කරගත් කෘෂිකර්මාන්තයෙන් මෙම ගොවීන්ට ලාභ ලබා ගත නොහැකිය. එබැවින් හරිත විප්ලවයේ කෘෂි කාර්මික තාක්ෂණයෙන් සිදු වූ හානිය පැහැදිලිව පෙනේ. පළමුවැනි හරිත විප්ලවය සේම දෙවැනි ජාන තාක්ෂණය කේන්ද්‍ර කොටගත් හරිත විප්ලවයෙනුත් ‘‘සාමය සහ සෞභාග්‍යත්’ පොරොන්දු වන අය බොහෝය. එහෙත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා රටවලට එය කෙතරම් සුදුසු ද යන්න කිව නොහැකිය. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ රජය සහ ජනතාව තීන්දුවක් ගත යුතුය. අන්ද බැටළුවන් මෙන් රැල්ලට හසුවෙනවාද? අසාර්ථක වූ හරිත විප්ලවය පසෙකලා එහි අහිතකර බලපෑම් ආපසු හැරවීමට සහ සංගනනය කේන්ද්‍ර කොටගත් ආහාර නිෂ්පාදන රටාවක් ආරම්භ කිරීමට අප රටේ ධනය සහ ජනතාවගේ ශක්තිය වැය කරනවාද?

(Aruna)