Friday, November 22, 2024
Follow Us
‘යහපාලන’ මායාවේ සිට අරාජිකත්වයට

‘යහපාලනය’ යන්නෙන් තමන් අදහස් කරන්නේ කුමක් දැයි මීට මාස කිහිපයකට පෙර මම මාගේ ෆේස්බුක් මිතුරන්ගෙන් ඇසුවෙමි. ඒ වකවානුව වනවිට තිබුණේ වත්මන් ආණ්ඩුව කුමන ආකාරයකින් හෝ පවත්වාගෙන යා හැකි තත්ත්වයකය. මා වෙත ලැබුණු පිළිතුරු බොහොමයක් ධනාත්මක පිළිතුරුවලට වඩා ඍණාත්මක පිළිතුරු වූ අතර, ඒවා මා තුළ ඇති කළේ දැඩි කුතුහලයකි. ඒ නිසාම මෙම ‘යහපාලන ආණ්ඩුවේ’ ක්‍රියාකාරිත්වය පිළිබඳව මාගේ අදහස් සටහන් කර තැබීමට අදහස් කළෙමි.

ව ත්මන් ‘යහපාලන’ ආණ්ඩුව තෝරා පත්කර ගනු ලබන්නේ ගෝලීය වශයෙන් විවාදයට ලක්වෙමින් තිබෙන බටහිර පන්නයේ පාලන ක්‍රමවේදයක් වන ‘යහපත් රාජ්‍ය තන්ත්‍රයක්’ යන අදහස දෙන ‘යහපාලන’ සංකල්පය පෙරදැරි කරගෙන ය. යහපාලනය යන යෙදුම ජාත්‍යන්තර සංවර්ධන විවරණයන් තුළ විවිධාකාරයෙන් අර්ථ දක්වා තිබෙන අතර, අනිවාර්යයෙන්ම එහි ප්‍රධාන වශයෙන් සංඝටක දෙකක් ඇතුළත්ව තිබේ. ඒවානම්, වඩාත් කාර්යක්ෂමව සේවා සැපයීම සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරණ ගැනීම ය. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරණ ගැනීමේ දී අවම වශයෙන් විනිවිදභාවය, සහභාගිත්වය, සහ සාමූහිකත්වය යන සාධක අනිවාර්යයෙන්ම තිබිය යුතු ය.

2015 අගෝස්තු මහ මැතිවරණයේ දී ‘යහපාලන’ ව්‍යාපාරය පොරොන්දු ගණනාවක් ජනතාව වෙත රැගෙන ආවේ ය. ව්‍යවස්ථාමය, නෛතිකමය සහ ආයතනිකමය ප්‍රතිසංස්කරණයන්ට අමතරව තවත් බොහෝ පොරොන්දු ඊට ඇතුළත් ව තිබිණි. නොමිලයේ වයිෆයි පහසුකම් සහ ගූගල් බැලූනය හරහා ඇතිකරවන තාක්‍ෂණික පහසුකම්, රැකියා දසලක්ෂයක් (1,000,000)ක් හරහා විරැකියාවට විසඳුම්, ආර්ථික සෞභාග්‍යය සහ වඩාත් වැදගත්ම දේ වන සාමය සහ සංහිඳියාව ඒ අතර ප්‍රධාන වෙයි. වසර හතරක් අවසානයේ මේවායින් සමහරක් ආරම්භ කර අවසන් කරගන්නට නොහැකි වූ ඒවා බවට ද, තවත් සමහරක් කොහෙත්ම ක්‍රියාත්මක කරගන්නට නොහැකි වූ පොරොන්දු පමණක් බවට ද පත්ව තිබේ. එය ජනතාවගේ නීත්‍යනුකූල අපේක්‍ෂාවන් බරපතළ ලෙස කඩාබිඳ දමා ඔවුන් දැඩි ඉච්ඡා භංගත්වයකට පත්කිරීමකි.

අපට වඩාත් පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ සේවා සැපයීම අතින් මෙන්ම, ආර්ථික වර්ධනය ඇතිකරලීම මගින් ද, ජනතාවගේ යහපැවැත්ම ඇතිකිරීම සහ ඔවුන්ගේ ආරක්‍ෂාව සැලසීම අතින් ද වත්මන් පාලන තන්ත්‍රය බරපතළ ලෙස අසමත්ව සිටින බවකි.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල පවතින ව්‍යාකූලතාව සහ අසමවාසීභාවය නිසාම ඉතා අඩු වර්ධන වේගයක් සහ ජීවන වියදමේ අනවරත ඉහළයාමක් සමඟ රට බරපතළ ලෙස ආර්ථික අර්බුදයකට පත්ව ඇත. 2015 දී 5%ක් වූ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන අනුපාතය 2016 දී 4.4%ක් ද, 2017 දී 3.3%ක් ද වශයෙන් ක්‍රම ක්‍රමයෙන් අඩු වී තිබේ. ‘වෙරිටේ රිසර්ච්’ ශ්‍රී ලංකා ආයතනය විසින් සිදුකරන ලද අධ්‍යයනයකට අනුව 2018 මැද භාගය වන විට 2018 අයවැය පොරොන්දුවලින් ඉටුකර ඇත්තේ 8%ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බව හෙළි වී තිබේ.

අතේ පත්තුවුණු ‘වොක්ස්වැගන්’ බේගලයේ සිට ගූගල් බැලූනය, නොමිලයේ වයිෆයි සහ ගම්පෙරළිය හරහා ග්‍රාමීය සංවර්ධනය දක්වා වූ ආණ්ඩුවේ සෑම ව්‍යාපෘතියකින්ම ජනතාව අත්වින්දේ මනඃකල්පිත මායාවක් මිස සැබෑ අපේක්‍ෂා ඉටුවීමක් නොවේ. තමන්ගේ සෑම අසමත්වීමකින්ම සහ නොහැකියාවකින්ම බේරී යාම සඳහා ඕනෑතරම් කරුණු කාරණා ආණ්ඩුව සතුව තිබේ. ඒවානම්, රාජපක්‍ෂ පාලන සමයේ ඇති කරන ලද බව කියන ඊනියා ණය උගුල සහ ට්‍රම්ප් පාලනයේ ඇති මූල්‍ය ප්‍රතිපත්තීන් වැනි දේය.

මුල දී මෙම අවාසනාවන්ත තත්ත්වයන් පිළිබඳ මා කතා කරන විට මාගේ කොළඹ මිතුරන් කියා සිටියේ, එවැනි ගැටලු තිබුණ ද, සුදු වෑන් සංස්කෘතියෙන් මිදුණු එදාට වඩා වැඩි නිදහසක් දැන් ඔවුනට තිබෙන බවකි. නිදහස සහ ආරක්‍ෂාව තවදුරටත් අපගේ වරප්‍රසාදයක් වී තිබේ ද? කොළඹ ආසන්නයේ වෙසෙන තරුණයකු සමග මා කළ සංවාදයක් මට මෙහි දී සිහිපත් වේ. සුදුවෑන්වලින් තොර වඩා හොඳ නිදහසක් දැන් තිබෙන බව පැවසූ විට ඔහු මා දෙස විෂ්මයෙන් බලා සිටියේ ය. අද සමාජයේ සිදුවන පාතාල අපරාධවල වැඩිවීම් ගැන මා නොදන්නේ දැයි ඔහු මගෙන් ප්‍රශ්න කර සිටියේ ය. ඔහුගේ එම පිළිතුරෙන් මට වැටහී ගියේ හිංසනය වෙනත් පැති කරා ගමන්කර ඇති බවත්, ඒවා සුදුවෑන් සංස්කෘතිය ගැන සිදුකරන හුදු දේශනවලට හසු නොවන පරාසයක ඇති සමාජ මට්ටම් කරා විහිද ගොස් ඇති බවත් ය.

මෑතක දී ඔබ අපට අත්දකින්නට සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් පසු හෙළිදරව් වූ බරපතළ ආරක්‍ෂක අඩුපාඩු මගින් අපට පෙන්නා දුන්නේ ජීවිතාරක්ෂාව සහ පුද්ගලික නිදහස පිළිඳව තවදුරටත් අපට බලාපොරොත්තු තබාගත නොහැකි බව නොවේ ද?. මෙම අනාරක්ෂිත තත්ත්වයන් අපට පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව පුද්ගල ආරක්ෂාව මෙන්ම, ජාතික ආරක්ෂාව ද ඉතා බරපතළ ලෙස නොසලකා හැර ඇති බව ය. ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් අපට දැකගන්නට ලැබෙන්නේ තම කාර්යභාරයන් නිසි ලෙස ඉටු නොකිරීම නිසා සිදුවූ විනාශය පිළිබඳව වගකීම භාරගන්නවා වෙනුවට එම වගකීම වෙනත් පාර්ශ්ව වෙත පවරමින් තමන් සුදනුන් වීමට ගන්නා නිරන්තර උත්සාහයන් ය. එනිසාම, එම ආපදා අවස්ථාවේ දී ජනතාව සමග සිටිමින් රට වෙනුවෙන් කටයුතු කළ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් පියතුමන් සහ යුද හමුදාපති බ්‍රිගේඩියර් මහේෂ් සේනානයක මහතා වැනි දේශපාලනික නොවන නායකයින් මේ වනවිට ජනතාව අතර වැඩි සුජාතභාවයක් දිනාගෙන ඇත.

මෙම තත්ත්වයන් මගින් ගම්‍ය වන්නේ වත්මන් ආණ්ඩුව ගෙනයන මෙම දුර්වල රාජ්‍ය පාලනයේ බරපතළ අසාර්ථකවීමක් සහ අසමත්වීමක් පවත්නා බව ය. ආර්ථිකය, සමාජ සාධාරණත්වය, ආරක්‍ෂාව යන කුමන ක්ෂෙත්‍රයක් තුළ වුව ද, ඉතාම පහළින් ඇති මූලික මට්ටමේ හෝ සේවාවක් ඉටුකිරීමට ‘යහපාලන’ රජයට ඇති නොහැකියාව දැඩි ප්‍රශ්න කිරීමකට ලක් වී ඇත.

‘ව්‍යවස්ථා සම්පාදන සංස්කෘතියේ ගම්‍යාර්ථය’ යන මැයෙන් මෑතක දී පවත්වන ලද වැඩමුළුවක දී ආචාර්ය හරිනි අමරසූරිය ‘යහපාලන’ ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ මහජන අදහස් විමසීම සම්බන්ධයෙන් සිය අත්දැකීම් ඉතා ව්‍යක්ත ලෙස ඉදිරිපත් කළා ය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ ප්‍රවේශයම කිසිම ගැඹුරක් නොමැතිව මතුපිටින් සිදුකරන ලද ආකාරයත්, කලින්ම නිගමනය කරන ලද ව්‍යවස්ථා ව්‍යුහයක් සහ රාමුවක් සහිතව කටයුතු කළ සම්පාදක සභාව මහජන අදහස් විමසීමේ කමිටුවේ නිර්දේශයන් කෙරෙහි දක්වන ලද නිද්‍රාශීලී ආකල්පයත් ඇය විසින් එහි දී විස්තර කරන ලදී. පළාත් සභා මැතිවරණ පනතට 2017 දී ගෙන එන ලද සංශෝධන සම්මත කරගන්නා ලද ආකාරය අනුව පැහැදිලිව පෙනී යන්නේ නීති සම්පාදන ක්‍රියාවලිය කිසිසේත්ම විනිවිදභාවයකින් හෝ මනා සහභාගිත්වයක් සහිතව සිදු නොවන බව ය. පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහා ඉදිරිපත් කරන ලද පනතට කාරක සභා අවස්ථාව තුළ දී ඉතා සැක සහිත ලෙස සහ යටිකූට්ටු ආකාරයෙන් පළාත් සභා මැතිවරණ සඳහා වූ මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණයන් ද ඇතුළත් කරන ලදී. පළාත් සභා මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණයන් භාවිත කරමින් පළාත් සභා මැතිවරණ කල්දැමීම සාධාරණීකරණය කිරීමටත්, කල් ඉකුත්වන පළාත් සභාවල පාලනය අදාළ පළාත් ආණ්ඩුකාරවරුන් වෙත පැවරීමටත් ආණ්ඩුව කටයුතු කළේ ය. මෙහි ප්‍රතිඵලය ලෙස පළාත් සභා නවයෙන් අටකම කාල සීමාවන් බොහෝ සේ ඉකුත් වී ඇති අතර, ඒවායේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් කිසිම පියවරක් නොගෙන ජනතා නියෝජිතයින්ගෙන් සමන්විත වන පළාත් සභා අකර්මණ්‍ය තත්ත්වයට පත්කර ඇත.

විවිධ විදේශ රටවල් සමග ද්වීපාර්ශ්වික ගිවිසුම් ඇතිකර ගැනීමේ දී දක්නට ලැබෙන ව්‍යාකූල තත්ත්වයන් ද මේ වනවිට ජනතාව අත්විඳිමින් සිටිති. ඉන්දියාව සමග ඇතිකර ගත් ආර්ථික සහ වෙළෙඳ ගිවිසුම (ECTA) සහ සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම මේ අතරින් වඩාත් මහජන ආන්දෝලනයට තුඩුදුන් ගිවිසුම් ය. ද්විපාර්ශ්වික ගිවිසුම් ඇතිකර ගැනීම ප්‍රතික්ෂේප කිරීමක් හෝ හෙළා දැකීමක් මෙහි දී සිදු නොකරන මුත්, මෙම ගිවිසුම් ඇතිකර ගැනීමේ දී පාර්ශ්වීය වශයෙන් විනිවිද භාවයකින් තොරව කටයුතු කිරීමේ ස්භාවයක් පෙනීමට ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් ද ගෙන ඇති ප්‍රවේශය මගින් වත්මන් පාලනයේ විනිවිදභාවය සහ විවෘතභාවය පිළිබඳව ඇති දෙබිඩි පිළිවෙත මනාව පැහැදිලි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වන සංශෝධනය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මගින් ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය සහතික කරන අතර, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මතකර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට ගෙන ආ 2016 අංක 14 දරන අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත, 2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 2018 අංක 34 දරන වන්දි ලබාදීමේ කාර්යාල පනත වැනි බොහෝ අණ පනත්වලින් තොරතුරු දැනගැනීමේ අයිතිය බැහැර කිරීමට දරා ඇති උත්සාහය මගින් වත්මන් ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත පැහැදිලිව ගම්‍යමාන වේ.

මෙම කරුණු පිළිබඳ තර්කානුකූල ඇගයීමක යෙදීමේ දී මා විශ්වාස කරන්නේ ‘යහපාලන’ ආණ්ඩුව කාර්යක්ෂමව සේවා සැපයීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණ ගැනීම යන මූලික කරුණු දෙකෙහිදීම අසමත් වී ඇති බව ය. ආණ්ඩුව යහපාලන රාජ්‍ය තන්ත්‍රයක නියැලෙනු වෙනුවට සිදුකරන ලද සහ සිදුකරමින් සිටින කටයුතුවලින් පැහැදිලි වන්නේ තම හිතවත් ප්‍රභූ පැලැන්තියට පමණක් සෙත සලසන පාලනයක් නම් සිදුකරමින් සිටින බවකි. එසේම වත්මන් ආණ්ඩුවේ ‘යහපාලනය’ කිසිදු ලෙසකින් ‘යහපාලනයක්’ නොවන අතර, එය හුදෙක් දේශපාලන අලංකාරෝක්තියක්, මුළුමනින්ම ව්‍යාකූල තත්ත්වයක් සහ නවීන රාජ්‍යයක මූලික අවශ්‍යතාවන් හෝ ඉටුකරන්නට අසමත් සංකල්පීය නිමැවුමක් පමණක් වන බව ඉතා පැහැදිලිය.

විවිධ විදේශ රටවල් සමග ද්වීපාර්ශ්වික ගිවිසුම් ඇතිකර ගැනීමේ දී දක්නට ලැබෙන ව්‍යාකූල තත්ත්වයන් ද මේ වනවිට ජනතාව අත්විඳිමින් සිටිති. ඉන්දියාව සමග ඇතිකර ගත් ආර්ථික සහ වෙළෙඳ ගිවිසුම (ECTA) සහ සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම මේ අතරින් වඩාත් මහජන ආන්දෝලනයට තුඩුදුන් ගිවිසුම් ය.

නීතීඥ චමින්ද්‍රි සපරමාදු

(Aruna)