නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
එසේම මාසිකව රුපියල් බිලියන 2.8ක අලාභයක් ලැබූ ජල සම්පාදන මණ්ඩලය අද වන විට රුපියල් බිලියන 6.2ක ලාභ ලබන තත්ත්වයකට පත් කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙසේද පැවසීය,
විදුලි බිල අඩු කිරීම සඳහා පියවර ගැනීම පිළිබඳව අමාත්‍ය කාංචන විජේසේකර මහතාට අපගේ ප්‍රශංසාව හිමි වෙනවා. ජල සම්පාදනය ද විදුලි ගාස්තුව මත රඳා පවතින ක්ෂේත්‍රයක්. එම නිසා මෙම විදුලි ගාස්තු සංශෝධනය ජල ගාස්තුව අඩු කිරීමට ඉවහල් වනු ඇතැයි විශ්වාස කරනවා.
ජල සම්පාදනය විවිධ සාධක මත රඳා පවතිනවා. විදුලි ගාස්තු අඩු කළහොත් ජල ගාස්තු ද අඩුවන බවට අප කලින් පොරොන්දු වී තිබුණා. මේ වන විට අමාත්‍යාංශය විදුලිය මත පමණක් නොව පොලී අනුපාත 26% සිට 11% දක්වා අඩු වී තිබෙනවා. ඒ තත්ත්වය හමුවේ ඩොලරයේ අගය මත පදනම්ව ජල ගාස්තු අඩු කිරීම පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා. ජල සම්පාදන මණ්ඩලයට අවශ්‍ය වන රසායන ද්‍රව්‍යයන් ආනයනය කිරීමේදී ඒවායෙහි මිල තීරණය වන්නේ ඩොලරය මත බව ද පැවසිය යුතුයි.
මෙම සතිය ඇතුළත ජල ගාස්තුව කොපමණ ප්‍රමාණයකින් අඩු කළ හැකිද යන්න තීරණය කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා. 2023 ජනවාරි මාසයේ මා මෙම අමාත්‍යාංශය භාර ගන්නා විට එය පැවතියේ නව ජල සම්බන්ධතා 1000ක්වත් ලබාදීමට නොහැකි තත්ත්වයකයි. ඒ වගේම මට එදා පැවරුණේ ඩොලර් මිලියන 800ක ණය බරක් සහ දළ වශයෙන් රුපියල් බිලියන 2.8ක මාසික පාඩුවක් ලබන ජල සම්පාදන මණ්ඩලයක් සහිත අමාත්‍යාංශයක්. එසේම මාසිකව රුපියල් බිලියන 4.5ක පුනරාවර්තන වියදමක් දරන ජල සම්පාදන මණ්ඩලය රටට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබුණා.
අද වන විට අප ලබාදුන් පොරොන්දු ඉටු කර තිබෙනවා. මේ වන විට නව ජල සම්බන්ධතා ප්‍රමාණය 113,000ක් දක්වා වර්ධනය කර තිබෙනවා. තවත් සම්බන්ධතා 30,000 ක් පමණ ඉදිරි සතිවලදී ලබාදීමට අප අපේක්ෂා කරනවා.
ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය මාසිකව ලැබූ රුපියල් බිලියන 2.8ක අලාභය මේ වන විට රුපියල් බිලියන 6.2ක මාසික ලාභයක් බවට පත් කිරීමට අප කටයුතු කර තිබෙනවා. තවද රුපියල් බිලියන 4.5 ක පුනරාවර්තන වියදමක් සහිතව, ඉතිරි මුදල් ප්‍රමාණය ණය සේවාකරණය සඳහා යොදා ගනිමින් ජල සම්පාදන අංශය තිරසර මට්ටමට ගෙනවිත් තිබෙන බවද සඳහන් කළ යුතුයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හරහා අපි ප්‍රතිපත්ති මත පදනම් වූ ණයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් ලබා ගත්තා. ඒ හා සමානව, ජල සම්පාදන ක්ෂේත්‍රය සඳහා, අප උප වැඩසටහනක් සිදු කිරීමට සූදානමින් සිටිනවා. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිසංස්කරණ යෝජනාවල අවසන් නිකුතු දෙක වන ජල ගාස්තු සූත්‍රය සහ ආයෝජන රාමු නිර්ණායක සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ විධායක මණ්ඩලය විසින් එය අනුමත කළ පසු තවත් ඩොලර් මිලියන 100ක් ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
මීට අමතරව, ජල ගාස්තු ගෙවීමේදී අවදානමට ලක්විය හැකි සහ දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රජාවන් ආරක්ෂා කිරීමට ද අප කටයුතු කරනවා. පුණ්‍ය ආයතන ලෙස වර්ග කර ඇති රෝහල්, පාසල් සහ ආගමික ආයතනවලට සහනාධාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඒ වගේම “අස්වැසුම” වැඩසටහනේ සාර්ථකත්වය සහ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම් සහ ඉඩම් අයිතිය ලබාදීම පිළිබඳ ජනාධිපතිතුමා දක්වන අවධානය පිළිබඳව අප සතුටු වෙනවා. ජනාධිපතිතුමා ගෙන යන වැඩසටහන් සම්බන්ධව කඳුකරයේ ජනතාව තුළ විශ්වාසයක් ඇති වී තිබෙනවා. කඳුකර ජනතාව වෙනුවෙන් ගැටලු තිබුණත් ඒ වෙනුවෙන් අපි නිවැරදි මාර්ගයේ යන බව විශ්වාසයක් අපට තිබෙනවා. අද වන විට කඳුකර ජනතාව විසඳා ගත යුතු බොහෝ ගැටලු විසඳා තිබෙනවා.
වතු සමාගම් සහ කර්මාන්ත අමාත්‍යාංශය සමඟ ලබන මාසයේ සාකච්ඡාවක් පැවැත්වෙනවා. එමඟින් වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය සම්බන්ධ අඛණ්ඩ විසඳුමක් ලබා ගත හැකි වනු ඇතැයි විශ්වාස කරනවා. ඒ වගේම අපේ දීර්ඝ කාලීන ඉල්ලීම පරිදි පසුගිය සඳුදා ජනාධිපතිවරයා විසින් ඉඩම් හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණා. පවුල් වැඩි ප්‍රමාණයක් ජීවත් වන කඳුකර ප්‍රදේශවලට සිටින්නේ එක ග්‍රාම නිලධාරියකු පමණයි. එනිසා ඇතැම් ජනතාවට රජයේ සුබසාධන ප්‍රතිලාභ නිසි පරිදි ලැබෙන්නේ නැහැ. කඳුකර ජනතාවට ඉඩම් ලැබීමට පෙර සිදු කළ ඉඩම් සීමා නිර්ණය කිරීමේ ගැටලුකාරී තත්ත්වය ඊට හේතුව වී තිබෙනවා.
මේ හේතුව නිසා කඳුකර ජනතාවගේ දියුණුවට බාධාවක් වී තිබෙනවා. මෙම ගැටලුව විසඳීම සඳහා කඳුකර ප්‍රදේශ ගම්මාන ලෙස පිළිගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් කර කර තිබෙනවා. ඒ වගේම කඳුකර ජනතාවට මුලින්ම නිවාස අයිතිය ලබාදිය යුතු බව කිහිප දෙනෙක් පෙන්වා දෙනවා. ජනතාවට ඉඩම් අයිතිය ලබා දුන්නොත් නිවාස ඉදිකිරීමට හැකියාව තිබෙනවා.