තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඒ සඳහා කෘෂිකර්මය නවීකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඉතිහාසයේ පළමු වතාවට වගා හානි සිදු වී මාස දෙකක් ඇතුළත වන්දි ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටත් මුදල් අමාත්‍යාංශයටත් ප්‍රශංසාව හිමි විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශයට මුදල් වෙන් කිරීමට අදාළ වැය ශීර්ෂ විවාදය පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. අනෙකුත් අමාත්‍යාංශවලට සාපේක්ෂව අඩු චෝදනා ප්‍රමාණයක් තමයි අප අමාත්‍යාංශයට ඉදිරිපත් වුණේ. ඒවාද අතීතයේ සිදු වූ දේවල්වලට සම්බන්ධයි. අප අමාත්‍යාංශය විසින් මේ වන විට සියලුම ක්ෂේත්‍රවල සහයෝගයෙන් සිදුකරන ව්‍යාපෘතිවල කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරනවා.
මම මේ අමාත්‍යාංශය භාරගත්තේ ඉතාම අභියෝගාත්මක අවස්ථාවක. මම මුලින්ම කුඹුරට ගිහින් ගොවීන්ට වගා කරන්න විශ්වාසය ඇති කළා. එදා ඔවුන් හෙක්ටයාර් 212,000ක වී වගා කළා. නමුත් යළි අස්වැන්න වැඩිකර ගැනීමට උනන්දුවෙන් කටයුතු කරන ලෙස මම ගොවී ජනතාවගෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටියා. ඉන් පසුව ඔවුන් හෙක්ටයාර 512,000ක් වී වගා කළා. මෙය මෑත කාලයේ සිදු වූ ඉහළම අස්වැද්දුම ලෙස හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම ප්‍රමිතියෙන් බාල පොහොර ගේන බවට ඒවා බරින් අඩු බවටත් චෝදනා එල්ල වුණා. පොහොරවල පණුවෝ සිටින බවත් පැවසුණා. නමුත් ගොවි ජනතාව ජනාධිපතිතුමා සහ රජය කෙරෙහි විශ්වාසය තබා වගා කටයුතුවල නිරත වුණා. සියලුම පොහොර වර්ග නියමිත වෙලාවට ගොවීන්ට ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. අපි මූල්‍ය ආධාර සහ ඉන්ධන සහනාධාරය ද ලබා දීමට කටයුතු කළා. ඒ නිසා වගා කටයුතු සාර්ථක වී ඉහල අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.
අපට වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් 25,40,000ක් අවශ්‍යයි. මෙවර අස්වැන්න මෙට්‍රික් ටොන් 27,50,000 ක් වනවා. අප අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකට වැඩි අමතර අස්වැන්නක් මෙවර ලබාගැනීමට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් සහල් ආනයනය කිරීමේ ද අවශ්‍යතාවක් මතුවී තිබෙනවා. ඊට හේතුව වී අස්වැන්න ඉහළ අගයක් ගත්ත ද මොල් හිමියන් විසින් ඒවා සම්පූර්ණයෙන්ම වෙළෙඳ පොළට නිකුත් නොකිරීමයි. ඒ වගේ ම කීරි සම්බා අස්වැන්නේ අඩු වීමක් දක්නට ලැබුණත් සාමාන්‍යයෙන් ජනතාව පරිභෝජනය කරන සහල් වර්ගවල අඩු වීමක් සිදුව නැහැ. ඉතින් මේ උත්සව සමයේ සහල් ආනයනය නොකළා නම් සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යනවා. මේ නිසා අකමැත්තෙන් හෝ සහල් පිටරටින් ආනයනය කිරීමට සිදුව තිබෙනවා.
ඒ වගේම 2024 දී බෝග වර්ග 04කට ප්‍රමුඛත්වය දීමට අපි සැලසුම් කර තිබෙනවා. වී වගාව දැන් සාර්ථක තැනකට පැමිණ තිබෙනවා. ඒ සමඟ බඩ ඉරිඟු, මිරිස්, අල වගා කිරීමට ජනතාව දිරිමත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි දැනටමත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. අපගේ අපේක්ෂාව මෙලෙස ආනයනය කරන මෙම බෝග වර්ග අප රටේම වගා කිරීමයි. එමෙන්ම එක් එක් බෝගවලට අදාළ ප්‍රදේශ වෙන් කරන්න කියලත් අප උපදෙස් දී තිබෙනවා.
කුරුලු උණෙන් තොර රටක් ලෙස අපට කුකුලු මස් අපනයනය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. අපි දැනටමත් යම් ප්‍රමාණයක් මාලදිවයිනට අපනයනය කරනවා. අප සැලසුම වී තිබෙන්නේ එය තවත් රටවලට ව්‍යාප්ත කිරීමටයි.
ඒ වගේම වගා හානි සඳහා වන්දි ලබා දෙනවා. එහි ඇතිවී තිබෙන ගැටලු නිරාකරණය කරමින් එම වැඩපිළිවෙළ කඩිනම් කිරීමට ද කටයුතු කරනවා. වගා හානියක් සිදුවී මාසයක් දෙකක් ඇතුළත වන්දි ලබාදුන් ඉතිහාසයේ පළමු වතාව මෙයයි. ඒ ගැන මම ජනාධිපතිතුමාට වගේම මුදල් අමාත්‍යාංශයට ද ප්‍රශංසා කරනවා.
අපෙ රටේ රබර් වගාව මේ වන විට යම් පසුබෑමකට ලක්ව තිබෙනවා. එය නැවත වැඩිදියුණු කිරීමට අවශ්‍ය සැලසුම් අපි සකස් කරමින් සිටිනවා. තේවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ අස්වැන්න වැඩි කිරීමට ද අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. එමෙන්ම කුරුඳු වගාව දියුණු කිරීම සඳහා අපි වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවා තිබෙනවා.
ඒ වගේම කෝපි වගාව කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. එය වැඩිදියුණු කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඈත් වී සිටීම අපට විශාල පාඩුවක්. බොහෝ විට කෘෂිකාර්මික කටයුතුවල යෙදී සිටින්නේ වැඩිහිටි අයයි. ආදායම් නොමැතිකම ඇතුළු විවිධ හේතු නිසා තරුණ පිරිස් කෘෂිකර්මාන්තයේ යෙදෙන්නේ නැහැ. තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා කෘෂිකාර්මික නවීකරණ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.