Thursday, October 31, 2024
Follow Us
සෞඛ්‍ය ඇමති‌ ඖෂධ ගැන නිලධාරීන්ට උපදෙස් දෙයි

ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වන ලෙසත්, ලියාපදිංචි ඖෂධ නොමැති අවස්ථාවල දී එවැනි ඖෂධ පිළිබඳ අවශ්‍ය දත්ත විමසා බලා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමත කරගෙන මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 

අමාත්‍යවරයා මෙසේ උපදෙස් දෙන ලද්දේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හා වෛද්‍ය සැපයුම් අංශය යන ආයතනවල නිලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ අද (01) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදුකළ  සාකච්ජාවකදීය. 

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉහත ක්‍රමවේදයෙන් පරිබාහිරව යම්කිසි කෙනෙක් කටයුතු කරන්නේ නම් ඒ පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

එමෙන්ම හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ මිලදී ගැනීම අත්හිටුවන ලෙසද, දැනට හිඟව පවතින ඖෂධ ඉතා කඩිනමින් නියමිත ක්‍රමවේදය ඔස්සේ ගෙන්වීමට කටයුතු කරන ලෙසට ද, අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 

මෙරට ජනතාවගේ සුව සෙත ඉහළ නැංවීම අප සැමගේ ප්‍රමුඛ කාර්ය විය යුතු බව පෙන්වා දුන් අතර එය සාමුහිකත්වයෙන් සිදු කළ යුතු කාර්යයක් බව ද අවධාරණය කළේය. 

 

පිළිකා, වකුගඩු ආදි රෝග සදහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ පිළිබදව අවධානය යොමු කරමින් එම ඖෂධ හිඟතාවයකින් තොරව රට තුළ පවත්වාගෙන යාම සදහා දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසත්, සියලු ඖෂධ සඳහා නිරන්තරයෙන් අවධානය යොමු කර සොයා බලා කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා  අදාළ නිලධාරීන්ව මෙහිදී දැනුවත් කළේය.