2026 වසරේ මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 15.28 දක්වා ළඟා වී ඇති අතර එය 2025 අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 14.41 ට සාපේක්ෂව 6.03% ක ඉහළ යාමකි. මෙම ධනාත්මක කාර්ය සාධනය සදහා වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයන යන අංශ දෙකෙහිම වර්ධනය සහාය වී ඇත.
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද නවතම අපනයන කාර්යසාධන දත්තවලට අනුව සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තුවලට අනුව, 2026 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම 5.72%කින් වර්ධනය වී ඇත. . එය ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01කි. එය 2025 අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 11.36 ට සාපේක්ෂව ඉහළ අගයකි.
සේවා අපනයන ආදායම පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයේ ඇමරිකානු ඩොලර් බිලියන 3.05 සිට 7.20% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 3.27 ක් දක්වා වර්ධනය වී තිබේ. සේවා අපනයනවල සතුටුදායක වර්ධනය මගින් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමට එහි දායකත්වය සහ රටේ අපනයන පදනම තවදුරටත් විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම පැහැදිලි වේ.
2026 මුල් මාස දහය තුළ දක්නට ලැබුණු මෙම ධනාත්මක ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ පවතින නම්‍යශීලී බව සහ වර්ධන ශක්‍යතාව පෙන්නුම් කරයි. මෙම වර්ධන වේගය පවත්වා ගැනීම සඳහා අපනයන තරඟකාරීත්වය ඉහළ නැංවීම, වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම, භාණ්ඩ හා සේවා විවිධාංගීකරණය කිරීම සහ නැඟී එන මෙන්ම ඉහළ වටිනාකමකින් යුත් අපනයන ක්ෂේත්රවල දායකත්වය ශක්තිමත් කිරීමට අඛණ්ඩ උත්සාහයක් අවශ්‍ය වේ.
2026 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව ඉහළ අපනයන ක්රියාකාරීත්වයක් වාර්තා කර ඇති අතර, සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.62 ක් දක්වා ළඟා වී ඇත. මෙය 2025 ඔක්තෝබර් මාසයේ ලැබූ ඇමරිකානු ඩොලර් බිලියන 1.45 ට සාපේක්ෂව 11.57% ක කැපී පෙනෙන වර්ධනයකි.
2025 ඔක්තෝබර් මාසයේ පැවැති ඇමරිකානු ඩොලර් බිලියන 1.15 ට සාපේක්ෂව, 2026 ඔක්තෝබර් මාසයේදී භාණ්ඩ අපනයනය 9.65% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 1.26 ක් වූ අතර, එය භාණ්ඩ අපනයන ක්ෂේත්රයේ පවතින ශක්තිමත්භාවය පිළිඹිඹු කරයි. එමෙන්ම, සේවා අපනයනය වඩාත් ඉහළ වර්ධනයක් වාර්තා කරමින්, පසුගිය වසරේ අනුරූප මාසයේ පැවැති ඇමරිකානු ඩොලර් මිලියන 303.03 සිට 18.87% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 360.21 ක් දක්වා වර්ධනය විය.
2026 ඔක්තෝබර් මාසයේ අපනයන ක්‍රියාකාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා මෙසේ පැවසීය.
"2026 වසරේ මුල් මාස දහය තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 15.28 ක් දක්වා ළඟා වෙමින් 6.03% ක වර්ධනයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය නම්‍යශීලී බව සහ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරමින් සිටි. මෙම දිරිගන්වන සුළු ක්‍රියාකාරීත්වය මගින් අපගේ අපනයනකරුවන්ගේ කැපවීම සහ ජාත්‍යන්තර වෙළඳපල තුළ ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහ සේවාවන්හි වර්ධනය වන ශක්‍යතාව පිළිඹිඹු වෙයි. ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා වැඩි අවස්ථාවන් නිර්මාණය කිරීම උදෙසා අපනයන තරඟකාරීත්වය ශක්තිමත් කිරීම, නිෂ්පාදන සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීම, අගය එකතු කිරීම ඉහළ නැංවීම සහ නවෝත්පාදන හා තාක්ෂණය අනුගමනය කිරීම වේගවත් කිරීම අපගේ ප්‍රමුඛතාවය විය යුතුයි.
අපනයන සංවර්ධන මණ්ඩලය ලෙස, අභියෝගවලට විසඳුම් සෙවීමට, වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීමට සහ අපනයනකරුවන්ට නව අවස්ථා උදාකර දීමට පුද්ගලික අංශය සහ අදාළ රාජ්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට අපි කැපවී සිටියි. 2030 වන විට වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36 දක්වා ළඟා කර ගැනීමේ අපගේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2026–2030 ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රධාන වේ. අපගේ ඉලක්කය අපනයන ආදායම වැඩි කිරීම පමණක් නොව, තිරසාර ආර්ථික වර්ධනයක් සහ ජාතියට දිගුකාලීන ප්රතිලාභ ලබා දෙන විවිධාංගීකරණය වූ, නවෝත්පාදනයන්ගෙන් පිරි සහ ගෝලීය වශයෙන් තරඟකාරී අපනයන ආර්ථිකයක් ගොඩනැගීමයි.