මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.
සංවර්ධනය කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයෙන්යෙන් ඉවත් කෙරෙන රේල් පීලි ඇතුළු භාවිතයට ගත හැකි කොටස් යොදා ගනිමින් සිදුකෙරෙන මෙම පුනරුත්ථාපන ව්‍යාපෘතිය වසර දෙකක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇත. මාර්ගයේ පවතින දුර්වල තත්වය හේතුවෙන් දැනට පවතින වේග සීමා 49 වසරක් තුළ ඉවත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුමයි.
කිලෝමීටර් 59 ක දිගින් යුතු මරදාන සිට අවිස්සාවේල්ල දක්වා වන කැළණිවැලි දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීම සඳහා රේල් පීලි 2359 සහ කොන්ක්‍රීට් සිල්පර 25728ක් යොදා ගැනීමට නියමිත වේ. ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් කෝටි 127කි.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ආරම්භ වූ කැලණි වැලි දුම්රිය මාර්ගය අද්‍යතන යුගයට ගැළපෙන අයුරින්, ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීම උදෙසා විදුලි දුම්රිය මාර්ගයක් බවට පරිවර්තනය විය යුතුයි. ඒ වෙනුවෙන් ක්‍රමානුකූල නිශ්චිත වැඩපිලිවෙලක් යටතේ දුම්රිය මාර්ගය නවීකරණය ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ සිදු කිරීමට සැලසුම් සකස් කර තිබුණා.නමුත් පළාතේ අවාසනාවකට හිටපු ජනාධිපතිවරයාගේ කාලය තුළ එම ව්‍යාපෘතියේ ඵලදායිතාව පිළිබඳව සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබුවා. ඒ අනුව මෙය ඵලදායි නොවන ව්‍යාපෘතියක් ලෙස මෙම කමිටුව නිර්දේශයක් ලබා දුන්නා. එම නිසා ලැබීමට නියමිතව තිබූ ආසියානු සංවර්ධන බැංකු ණය මුදල අත් හිටවනු ලැබුවා. එම රජයේ අමාත්‍යවරුන් ලෙස මමත් වත්මන් අග්‍රාමාත්‍යතුමාත් නැවත එම ව්‍යාපෘතිය ලබා ගැනීම සඳහා විශාල මැදිහත්වීමක් සිදුකලා. අයවැය යෝජනාවක් ලෙස ඇතුලත් කලා. නමුත් දේශපාලනඥයින්ට වඩා ඉහලින් සිටින නිලධාරීන්ගේ තීරණ වල අවාසනාවන්ත ප්‍රතිපලයක් ලෙස ඒ වටිනා ව්‍යාපෘතිය අහිමිව ගියා. මා විෂය භාර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් ගත හැකි සෑම උත්සාහයක්ම දරුවත් එය සාර්ථක වූයේ නැහැ.දැනට රටේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා තුරු නැවත ණය මුදලක් ලබා ගැනීම අපහසුයි.
ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුලු ජාත්‍යන්තර සංවිධාන කටයුතු කරන්නේ සියලු රටවල් පිලිබඳ පිළිගත් ක්‍රමවේදයකට අනුවයි. ශ්‍රී ලංකාවේ සෑම රජයකටම පැවති පොදු ගැටළුව අද දක්වාත් නොවිසඳී පවතිනවා. රජයට ලැබෙන බදු අදායමින් සිදු කල හැකි වන්නේ කටයුතු දෙකයි. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා එයින් 72%ක් වැය වනවා. සමෘද්ධි ඇතුලු සහනාධාර ගෙවීම සඳහා 28%ක් වැය වනවා. එවිට භාණ්ඩාගාරයේ ශතයක් හෝ ඉතිරි වන්නේ නැහැ.
ඒ අනුව පැවතුනු සෑම රජයක්ම සෑම සංවර්ධන කටයුත්තක්ම සිදුකර තිබෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන්. නමුත් ඒ පිලිබඳ සත්‍ය ජනතාවට පැහැදිලි කර දී නැහැ. මේ තත්වය යටතේ තව දුරටත් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදුකර, වැටුප් වැඩි කිරීම සිදු කළහොත් මුළු බදු අදායමම වැටුප් ගෙවීමට වෙන් කිරීමට සිදු වනවා.
මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සිදු කරන සාකච්ඡා ඔක්තෝම්බර් මාසය වන විට සාර්ථක කරගනිමින් ලෝකය සමඟ එකඟතාවයකට එළඹෙන්නට හැකි වනු ඇති.
ඉන් අනතුරුව නතර වී ඇති සියලු සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමේ හැකියාව ලැබෙන ඇති බව මා විශ්වාස කරනවා.
එතෙක් පවතින සම්පත් පරිස්සමෙන් යුතුව කළමනාකරණය කර ගනිමින් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීමට අප පියවර ගෙන තිබෙනවා.ඒ අනුව උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ දී ඉවත් කරනු ලබන භාවිතයට ගත හැකි කොටස් යොදා ගනිමින් කැළණි මිටියාවතේ මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය අද ආරම්භ කරනවා මෙන්ම, අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
වසර හතරකට පසු ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ මෙරටට ලැබුණු රේල් පීලි දස දහසක් රැගත් නෞකාවක ගොඩබෑම් පසුගියදා අවසන් වුණා.
එම සම්පත් ද යොදා ගනිමින් මෙම ප්‍රතිසංස්කරණ කාර්යය අවසන් කිරීමෙන් අනතුරුව අවිස්සාවේල්ල සිට කොළඹට ගමන් කිරීමට ගතවන කාලය තවත් පැය භාගයකින් අඩු වනු ඇති බව මා විශ්වාස කරනවා. ඒ සමඟම සංඥා පද්ධතියේද වෙනසක් සිදු කරනවා.