ලබන වසර වන විට අධ්‍යාපන ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසක් සිදු කරමින් විසි එක්වන සියවසට ගැළපෙන සිසුවා නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
රට තුළ තිරසර සහ ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට සිදු කෙරෙන බවත්, එහිදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විෂය මාලා හඳුන්වාදීම මෙන්ම මානව සම්පත නිසි අයුරින් කළමනාකරණය කිරීම ද සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස් පළ කර සිටියේ, ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ අද (10) පැවති "ස්ථාවර රටකට සැවොම එක මගකට" ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
විවිධ හේතුන් මත නවතා දැමුණ "සුරක්ෂා" සිසු රක්ෂණ ක්‍රමය 2024 වසරේ සිට යළිත් ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.
සංවර්ධිත රටවල අධ්‍යාපන අමාත්‍යංශය මධ්‍යම රජයට අයත් නොවන අතර එය පවතින්නේ පළාත් අමාත්‍යවරයෙකු යටතේයි. ඉන්දියාව, කැනඩාව, ජපානය වැනි රටවල මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන නිසා එහි දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත වී තිබෙනවා.
සන්ධීය රාජ්‍යවල එවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබුණ ද අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේයි. ඒ වගේම පාසල් 399 ක් හැරුණු කොට අනිත් සියළුම පාසල් පවත්වාගෙන යනු ලබන්නේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේයි.
2001 වර්ෂයේදී ජාතික පාසල් දහසක් නිර්මාණය කිරීමේ වැඩසටහන ආරම්භ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය සිදුකරන විට මේ රටේ තිබුණේ ජාතික පාසල් 17යි.
නමුත් එක් එක් අධ්‍යාපන අමාත්‍යවරු ගත් තීන්දු තිරණ සහ දේශපාලන වැඩසටහන් අනුව ජාතික පාසල් ප්‍රමාණයේ වැඩිවීමක් සිදු වුණා. නමුත් ඒ තුළින් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ඇතිවූ බවක් කිව නොහැකියි. එක රැයකින් ජාතික පාසල් 28ක් බිහිවූ යුගයක් ඉතිහාසයේ තිබෙනවා. නමුත් මේ වන විට අධ්‍යාපන ක්ෂේත්රය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට අවශ්‍යයි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට සිසුන් පෙළගැස්විය යුතුයි.