ලබන නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාව පැය භාගයකින් දීර්ඝ කිරීමේ අදහසක්, මැතිවරණ කොමිෂන් සභාවේදී සාකච්ඡාවට ලක්වී තිබේ.
මෙවර මැතිවරණය සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්ව සිටීම නිසා ඡන්ද පත්‍රිකාවද දිගින් වැඩිවී තිබේ. එය ලංකාවේ ජනාධිපතිවරණයකට සකස් කළ දිගම ඡන්ද පත්‍රිකාව වන අතර මෙය දැනට මුද්‍රණය වෙමින් පවතී.
ඡන්ද පත්‍රිකාව දිගින් වැඩිවීම නිසා ඡන්ද දායකයන්ට සිය ඡන්දය ලකුණු කිරීමට යම් වේලාවක් ගතවෙනු ඇති බව කොමිෂන් සභාවේ අදහසයි. ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාව පැය භාගයකින් දීර්ඝ කිරීමේ අදහසක් සාකච්ඡාවට ගෙන ඇත්තේ එබැවිනි.
දැනට තිබෙන තත්ත්වය අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාව උදෑසන 7.00ට ඇරඹෙන අතර, එය අවසන් කෙරෙන්නේ පස්වරු 4.00ටය. ඡන්ද පත්‍රිකාව දිගින් වැඩිවීම නිසා එය ලකුණු කිරීමට මෙම කාලසීමාව ප්‍රමාණවත්ද? යන ප්‍රශ්නය කොමිෂන් සභාවේ අවධානයට ලක්වී ඇත.
එසේම ඡන්ද පොළවල්වල දිගු පොලිම් ඇති වුවහොත් දැනට තිබෙන කාලසීමාව ප්‍රමාණවත් වේද? යන ප්‍රශ්නයද ඔවුන්ගේ අවධානයට ලක්ව තිබේ.
කෙසේ වෙතත් අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්ව සිටීමේ කාරණය නිසා එක් ඡන්ද පොළක ඡන්දය ප්‍රකාශ කිරීමේ ස්ථාන 10-15ක් පමණ සංඛ්‍යාවක් පිහිටුවීමටද සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
(Aruna)