Friday, April 26, 2024
Follow Us
වෘත්තීය පුහුණුවට අදාළ සියලු ආයතන කෝප් කමිටුවට

• වෘත්තීය පුහුණු සියලු ආයතන එක තැනකට කැඳවා අන්තර් සම්බන්ධීකරණයෙන් යුතු පොදු වැඩපිළිවෙලක් සකස් කරන්න - අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්- මාස දෙකක් තුළ නැවත කැඳවීමටත් තීරණයක්


• තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්ය භාරය නිසිපරිදි සිදුනොවන බවට චෝදනා - වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ආයතනයේ කාර්ය සාධනය පිළිබද විශේෂ ඇගයීමක් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්

• වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට අදාළ ආයතන පද්ධතිය සතුව කිසිදු පිළිගත හැකි දත්ත පද්ධතියක් නැහැ. එබැවින් ජාතික තොරතුරු පද්ධතියක් කඩිනමින් සකස් කරන ලෙසට දන්වයි

• රැකියාවෙළදපොළට ගැළපෙන පරිදි විද්‍යානුකූල පදනමක් යටතේ පාඨමාලා සංඛ්‍යාව අඩුකර සකස් කරන ලෙසටත් උපදෙස්

• වෘත්තීය අධ්‍යාපනයට අදාළව විදෙස් රැකියා, සංචාරක, කෘෂිකර්ම ඇතුළු අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණය සඳහා කෝප් අනුකමිටුවක්

මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඊට අදාළ විසදුම් විමර්ශනය සදහා මෙරට වෘත්තීය පුහුණුව අදාළ සියලු ආයතනවල සහභාගීත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ විශේෂ ඒකාබද්ධ රැස්වීමක් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (16) පැවැත්විණි.

කෝප් කමිටු සභාපතිවරයා, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග පැවති සාකච්ඡාවක් සහ කෝප් කමිටු නිර්දේශ අනුව මෙම ආයතන සියල්ල කැඳවා තිබිණි.

මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය, වෘත්තීය අධ්‍යාපන ආයතන නියාමනය කිරීමේ වගකීම සහිත තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) , වෘත්තීය පුහුණු අධිකාරිය(VTA), ජාතික තරුණ සේවා සභාව, යොවුන් සේනාංකය, සාගර විශ්වවිද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය (UNIVOTEC), කාර්මික අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ජාතික ආධුනිකත්ව සහ වෘත්තීය පුහුණු කිරීම් අධිකාරිය (NAITA) යන ආයතන මෙම කමිටුට කැඳවා තිබිණි.

රාජ්‍ය අමාත්‍ය, රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය රංජිත් දිසානායක, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා යන මහත්වරුද කමිටු සභාපතිවරයාගේ ආරාධනයට අනුව මෙම රැස්වීමට සහභාගි වූහ.

මෙහිදී පහත සදහන් ක්ෂේත්‍ර පිළිබද අවධානය යොමු විය.

සියලු වෘත්තීය පුහුණු ආයතන සම්බන්ධීකරණයෙන් පොදු වැඩපිළිවෙලක් සකස් කිරීමට ලේකම්වරයාට බලය

සියලු වෘත්තීය පුහුණු ආයතන සම්බන්ධීකරණය කිරීමේ වැදගත් කම පෙන්වා දුන් සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ සියලු ආයතන ප්‍රධානීන් එක තැනකට කැඳවා ආයතනවල විෂය පථය එක දිශානතියකට ‍හසුරවමින් පොදු වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය. එසේම මාස දෙකකින් මෙහි ප්‍රගතිය පිළිබද පරීක්ෂා කරන බවද කෝප් සභාපතිවරයා පැවසීය.

මෙරට වෘත්තීය අධ්‍යාපනයට අදාළව පවතින ප්‍රධාන ආයතන 8 ක් පවතින බවත් මෙම ආයතනවල කාර්යභාරය සහ අරමුණු ඒකකාරී වීම ගැටලුවක් බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. එකම පාධමාලාව විවිධ කාලසීමාවන් හා NVQ මට්ටම් යටතේ විවිධ ආයතනවල ඉගැන්වීම සිදුවන බැවින් පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාව අවධාරණය කරන ලදී.

තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්ය භාරය පිළිබදව නිසි ඇගයීමක් සිදු කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්

මෙරට වෘත්තීය පුහුණුව සහ එම ආයතන නියාමනය සදහා ස්ථාපිත තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්ය භාරය නිසි පරිදි සිදු නොවන බවට මෙහිදී කමිටුව විසින් පෙන්වා දෙන ලදී. කොමිෂන් සභාවේ අධීක්ෂණ ක්‍රීයාවලිය ශක්තිමත් කළ යුතු බව කමිටු සභාපතිවරයා අවධාරණය කර සිටියේය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ආයතනයේ කාර්ය සාධනය පිළිබද විශේෂ ඇගයීමක් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

ඉතා දැඩි ලෙස වෘත්තීය පුහුණුවට අදාළ ක්‍රියාවලිය අධීක්ෂණය කළ යුතු බවත් ඒ සදහා අවශ්‍ය නෛතික පදනම සකස් කරගන්නා ලෙසත් තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.

ආයතන පද්ධතිය සතුව කිසිදු පිළිගත හැකි දත්ත පද්ධතියක් නොමැතිවීම

ආයතන පද්ධතිය සතුව කිසිදු පිළිගත හැකි දත්ත පද්ධතියක් නැතිවීම ප්‍රධාන ගැටලුවක් ලෙස මෙහිදී හදුනා ගැනිණි. ප්‍රධාන ආයතන 8 ට අදාළව දිවයින පුරා පවතින ශාඛා ජාලය හරහා ක්‍රියාත්මක පාඨමාලා, ඒවාට ඇතුළත් වන හා සාර්ථකව පුහුනුව අවසන් කරන ප්‍රමාණයන්, රැකියාවල නිරත සංඛ්‍යාව යනාදි වශයෙන් විධිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

රැකියා වෙළදපොළ අනුව විද්‍යානුකූල පදනමක් යටතේ පාඨමාලා සංඛ්‍යාව අඩුකර සකස් කිරීම

රැකියා වෙළදපොළ සහ ඒ අනුව පවතින ඉල්ලුම අනුව සකස් කළ යුතු පාඨමාලා පිළිබද වෙළදපොළ සමීක්ෂණයක් සිදු කරන ලෙස කමිටුව තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.
ඉන්දියාවේ වෘත්තීය පුහුණු පාඨමාලා 256 ක් ක්‍රියාත්මක වුවද මෙරට එම සංඛාව විශාල අගයක් බවද අනාවරණය විය. ඒ අනුව විද්‍යාත්මක පදනමක් යටතේ අනවශ්‍ය කාලීන වැදගත්කමකින් අඩු පාඨමාලා ඉවත් කරන ලෙසද උපදෙස් ලබා දෙන ලදී.

ආයතන අතර සම්පත් බෙදා ගැනීමේ නිසි වැඩපිළිවෙලක් නොමැති වීම

මෙම සෑම ආයතනයක ශාඛා ජාලයක් දිවයින පුරා පවතින බවත් මෙම ආයතන අතර සම්පත් බෙදා ගැනීමේ නිසි වැඩපිළිවෙලක් නොමැති වීම දක්නට ලැබෙන බවත් කමිටුවේදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් සොයා බලා සම්පත් පොදුවේ භාවිතා කළ හැකි ආකාරය පිළිබවදව වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද එහි ප්‍රගතිය මාස දෙකක් තුළ පරීක්ෂා කරන බවද කෝප් සභාපතිවරයා පැවසීය.

විදෙස් රටවල මීට සමාන ආයතන සමග එක්ව කටයුතු කිරීමට පසුගිය කාලය තුළ හැකියාව ලැබී නැති බැවින් ඒ සදහා කටයුතු කරන ලෙසත් මෙහිදී කමිටුව දන්වා සිටියේය.

පාඨමාලාවන්ට අදාළව වීඩියෝ අන්තර්ගතයන් නිර්මාණය කිරීම

වෘත්තීය පුහුණු පාඨමාලාවන්ට අදාළව වීඩියෝ අන්තර්ගතයන් නිෂ්පාදනය කොට අන්තර්ජාලය තුළින් බෙදා හැරීමට කටයුතු කිරීම, පාඨමාලාවල ගුණාත්මක බව සහ සමජාතීය බව රැක ගැනීමට අතිශය වැදගත් බව මෙහිදී සාකච්ඡා විය. එසේම පුහුණුකරුවන්ගේ හිගය ඇතුළු ගැටලු සදහාද මෙය විසදුමක් බව කමිටුව පෙන්වා දුන්නේය. මෙම වී‍ඩියෝ නිර්මාණය සදහා අවශ්‍ය අනුග්‍රහය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා මෙහිදී සහතික විය. ඒ අනුව ඒ සදහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දීම සිදුවිය. මෙම කටයුතු කඩිනමින් අවසන් කිරීමටත් කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී සහතික විය.

අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණය සඳහා ‍අනුකමිටුවක්

වෘත්තීය පුහුණුව සදහා අවශ්‍ය විෂය ක්ෂේතුයන් ලෙස විදෙස් භාෂාවන්, සංචාරක කර්මාන්තය, කෘෂිකාර්මාන්තය ඇතුළු විෂයන් ඇතුළත් කිරීම සහ අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු සදහා ‍අනුකමිටුවක් පත් කිරීම මෙහිදී සිදුවිය.

මෙරට වෘත්තීය පුහුණුව නිසි මාවතට යොමු කිරීමේ මෙම ක්‍රියාවලිය ජාතික කාර්යභාර්යක් බැවින් ඒ සදහා සියලු දෙනාගේම කැපවීම අපේක්ෂා කරන බවද කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.

කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, චමින්ද විජේසිරි, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, මේජර් සුදර්ශන දෙනිපිටිය, එම් රාමේෂ්වරන් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.