Friday, November 15, 2024
Follow Us
මෙරට දුම්රිය පාලම් 850ක් අබලන්

දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්න මාස 6ක්


සමස්ත දුම්රිය පාලම් එක්දහස් තුන්සිය හැත්තෑ පහක් අතරින් පාලම් අටසිය පනහක්ම අබලන් තත්ත්වයේ පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ඉදිකරන ලද වසර සියයකටත් වැඩි පාලම් විශාල සංඛ්‍යාවක් මෙලෙස අබලන් වී තිබේ. මෙම පාලම් අතරට දෙමෝදර ආරුක්කු නවය පාලම ඇතුළු පෞරාණික දුම්රිය පාලම් කිහිපයක්ම ඇතුළත් බවත් වේග සීමාවලට යටත්ව එම පාලම් හරහා දුම්රිය ධාවනය සිදුවන බවත් දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවැසීය.

දුම්රිය මාර්ග පද්ධතියේ පවතින මෙම කඩාවැටීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩුව සහ විදෙස් විනිමය අර්බුදය හේතු වී තිබේ.

දුම්රිය පීලි හිඟය හේතුවෙන් පැරැණි පීලි අලුත්වැඩියා කොට දුම්රිය මාර්ගයට සවිකර තිබෙන දුම්රිය පීලි දස දහසක් චීනයෙන් ඇණවුම් කර ඇතත් ඒවා ලැබෙන්නේ මාර්තු මාසයේය. ඒ අනුව දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට තවත් මාස හයකට වඩා කාලයක් ගතවනු ඇත. මෙම තත්ත්වය හමුවේ අවදානම් ස්ථානවල දුම්රිය ධාවන වේගය පැයට කිලෝමීටර් විස්සත් තිහත් අතරත් මාර්ගය හොඳ තත්ත්වයේ පවතින ස්ථානවල උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් අසූව දක්වාත් සීමා කර තිබේ.

මේ සම්බන්ධයෙන් දුම්රිය මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ඩබ්. බණ්ඩාරගෙන් කළ විමසුමකදී කියා සිටියේ දුම්රිය මාර්ග පද්ධතියේ දෝෂ බොහෝ ප්‍රමාණයක් මේ වන විට අලුත්වැඩියා කර තිබෙන බවයි. විදෙස් විනිමය හිඟය හමුවේ දුම්රිය පීලි ඇතුළු මාර්ග පද්ධතිය නඩත්තු කිරීමට අවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙන්වීම ප්‍රමාදව තිබූ බවත් දැන් දැන් එම තත්ත්වය ක්‍රමක්‍රමයෙන් නිරාකරණය වෙමින් පවතින බව ප්‍රධාන ඉංජිනේරුවරයා පවසයි.

Aruna