Saturday, November 16, 2024
Follow Us
මන්කිපොක්ස් ගැන බිය නොවන්න : සැක කටයුතු අයෙක් නම් ලඟම සෞඛ්‍ය ආයතනය වෙත යන්න - සෞඛ්‍ය අමාත්‍යාංශය

මන්කි පොක්ස් වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත් ඒ පිළිබද අනියත බියක් ඇතිකරගත යුතු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

ඒ නිසා මෙරටින් එවැනි ආසාදිතයෙකු වාර්තා වීම පිළිබදව බියක් ඇතිකර ගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.

අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මේ පිළිබදව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව තුළ රෝග ආවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වනු ලබන බවත්, ඒනිසාම අදාල ආසාදිතයා කඩිනමින් හදුනා ගැනීමට හැකි වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

විශේෂයෙන්ම Monkeypox රෝගය පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට බෝවිය හැක්කේ ඉතාම සමීප ඇසුරකින් පමණක් බවත්, එය විවිධ ක්‍රම ඔස්සේ සිදුවිය හැක්කක් යැයි ද ඔහු මෙහිදී පවසා සිටියා.

මෙම රෝගී තත්ත්වය පැපොල වැනි රෝගී තත්ත්වයක් බවත්, එවැනි වෛරස් තත්ත්වයන් සාමාන්‍යයෙන් විටින් විට ඇතිවන්නක් බවත්, එහෙත් මෙම රෝගය පිළිබදව වඩාත් විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ඒ පිළිබදව අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ කටයුතු කරන ලෙසත්, සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ට ‌මේ වන විට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇතැයි පෙන්වා දෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, එනිසා සැක සහිත රෝගීන් පිළිබදව සෞඛ්‍ය අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බවද පෙන්වා දුන්නා.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,

“ඊයේ දින මෙරටින් ප්‍රථම Monkeypox රෝගියා වාර්තා වූවා. ඔහු නොවැම්බර් මස 01 දා විදේශ රටක සිට මෙරටට පැමිණි වයස අවුරුදු 19 ක පුද්ගලයෙක්.

සැක සහිත බැවින් 02 දා වෛද්‍යවරුන් විසින් ඔහුගේ සාම්පල් වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කර එම පුද්ගලයා රෝහල් ගත කිරිමට කටයුතු කළා.

ඊයේ දිනයේ දී වෛද්‍ය පර්යේෂණායතනය විසින් එම රෝගියාට Monkeypox වෛරසය ආසාදිත බවට තහවුරු කළා. දැනට ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනවා.

එමෙන්ම ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කර තිබෙනවා‍.”

“මෙය කිසිසේත්ම බිය විය යුතු දෙයක් නොවෙයි. අප රට තුළ රෝග ආවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුව නිසාමයි මෙම රෝගියා ද හදුනා ගැනීමට හැකියාව ලැබුණේ.

මේ සදහා සිදු කරන පරික්ෂණ කටයුතු සදහා වෛද්‍ය පර්යේෂණායතනයේ සියළු පහසුකම් සහ ඖෂධ තිබෙනවා.

කොවිඩ් වෛරසය වගේ මෙම වෛරසය බෝවන රෝගයක් නොවෙයි. නිරෝධායනය කිරිමට, ගුවන්තොටුපල වැසිමට, වෙළෙදසල් වැසීමට අවශ්‍යතාවයක් නැහැ.”

“මම සියළුම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා රෝගීන් පිළිබද වාර්තා කිරීමේ දී ඔවුන්ගේ නම් ගම් ඇතුළු පෞද්ගලික තොරතුරු, ආගිය ස්ථාන, ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස. කොවිඩ් වසංගතයේ දීත් මේ වැරැද්ද සිදු කළා. මෙයින් සිදු වෙන්නේ රෝගීන් වෛද්‍ය පරීක්ෂණ වලට ඒම අධෛර්යමත් වීමයි. එය සිදු නොවිය යුතු දෙයත්. සැක කටයුතු රෝගියෙක් සිටිනවා නම් ලගම පිහිටි සෞඛ්‍ය ආයතනය වෙත යොමු ‌වෙන්න. ඔබගේ අනන්‍යතාවයට ගැටළුවක් වන කිසිම කරුණක් මාධ්‍ය වෙත අප ලබාදිම සිදු කරන්නේ නැහැ.”

මේ වසරේ මැයි මාසයේ තමයි මෙම වෛරසය ලෝකයේ පැතිරෙන්න පටන්ගත්තේ. යුරෝපයේ සහ අනෙකුත් රටවල එය පැතිරිලා දැන් අඩුවෙමිනුයි තිබෙන්නේ.

දකුණු ආසියාතික රටවල ගතහොත් දැනට වාර්තා වි තිබෙන්නේ රෝගීන් 23 කි. මියගොස් තිබෙන්නේ එක් රෝගියෙකි.

ලෝකයෙන්ම රෝගින් 73,434 ක් දැනට වාර්තා වී තිබෙන අතර එයින් රෝගින් 29 ක් පමණයි මියගොස් තිබෙන්නේ." සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

Neth