Thursday, April 25, 2024
Follow Us
අගෝස්තු වනවිට රටේ ආහාර අර්බුදයක් - ණය නොගෙවීම ගැන රනිල් ලැජ්ජා වෙයි

ලබන අගෝස්තු මාසය වනවිට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාවක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.

මේ අතර ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර සැපයීම සදහා මූල්‍ය ආධාරයක් ලබාදීමට ජපානය තීරණය කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ හා ආහාර ලබාගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 3 ක මුදලක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ. ඉන් මිලියන 1.5 ක් ඖෂධ වර්ග 25 ක් ඉදිරි මාස දෙක තුළ ලබාගැනීමට යොදවනු ඇති. අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා ඩොලර් මිලියන 1.5 ක මුදලක්ද ලබාදීමට නියමිතයි.

මේ අතර වෙළද ගණුදෙනු සදහා ගෙවීම් සිදුකිරීමේදී ඉන්දීය රුපියල්වලින් එම ගණුදෙනු සිදුකිරීමට ශ්‍රී ලංකාවට ඉඩ ලබාදීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ, පවතින තත්ත්වය හමුවේ ඉන්දීය අපනයනකරුවන් ශ්‍රී ලංකාවෙන් මුදල් ලබාගැනීමට යාමේදී මුහුණපාන ගැටළු හේතුවෙන්.

කෙසේවෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ පවතින අර්බුදකාරී තත්ත්වය අතරතුර ශ්‍රී ලංකාවේ සුවිශේෂි පිහිටීම හේතුවෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතා විශ්වාසය දිනාගැනීමේ උත්සාහයක නිරත වන බවයි.

(Neth)