Sunday, December 22, 2024
Follow Us
ත්‍රස්තවාදය තවමත් මැඩපවත්වා අවසන් නෑ - සරත් ෆොන්සේකා

පාස්කු ප්‍රහාරය හේතුවෙන් රටතුළ ක්‍රියාත්මක වූ ත්‍රස්ත අවදානම තවමත් අවසන් වී නොමැති බව සරත් ෆොන්සේකා මහතා පවසනවා. පසුගිය සතියේද දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා පවසන්නේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් තවමත් නිදැල්ලේ සිටිය හැකි බවයි.

කිරිබත්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.

හදිසි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතු‍රු දෙමින් ඔහු ප්‍රකාශ කළේ හදිසි නීතිය ඉවත් කිරීම රටේ ජනතාවගේ නිදහස තහවුරු වන බවයි. එය ආරක්ෂාවට හෝ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට හෝ කිසිදු බාධාවක් නොවන බවත් ෆොන්සේකා මහතා පවසයි. රටේ නිසි ආරක්ෂාවක් පවතින්නේ නම් හදිසි නීතිය පනවන්නේ කුමටදැයි ඔහු විමසා සිටී.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ‍පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් සාක්ෂි සටහන් කරගත යුතු බව සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. ඉන්පසු වාර්තාව සකස් කොට එය ප්‍රසිද්ධියට පත් කිරීමට සිදුකළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා සාක්ෂි ලබාදීමට තීරණය කරන්නේ නම් ඉන් වඩාත් යහපතක් සිදුවන්නේ ජනාධිපතිවරයාටම බවත් ඔහු පෙන්වා දෙයි.

(LNW)