Sunday, December 22, 2024
Follow Us
හිස්බුල්ලාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට නීතිපති උපදෙස්

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා 2010 වසරේ සිට 2015 වසර දක්වා දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශය කර තිබේ. ඒ බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් කථානායක කරු ජයසූරිය වෙත යොමු කර ඇත. එම උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ආංශික අධීක්ෂණ කාරක සභාව කථානායකවරයාට දැනුම් දී ඇත්තේ.

මෙලෙස මන්ත්‍රී ධුරය අහෝසි වීමට හේතු වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරමින් රජය සමඟ සම්බන්ධ ගනුදෙනුවක පාර්ශවකරුවෙකු වීමයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු සාකච්ජාවට බදුන් වූ මඩකලපුව විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා 2013 වසරේ ජුනි 11 වැනිදා ශ්‍රී ලංකා හිරා පදනම සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය අතර ගිවිසුමක් ඇතිකර තිබෙන අතර හිරා පදනමේ සභාපති ලෙස ගිවිසුමට අත්සන් කර ඇත්තේ හිස්බුල්ලා මහතාය.

මෙම මඩකලපුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ඇතිකරගත් ගිවිසුමකටද 2015 වසරේ ජූලි 15 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස හිඳිමින් හිස්බුල්ලා මහතා අත්සන් කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව මේ කාරණා සනාථ කර ඇත.

පවත්නා පාර්ලිමේන්තු නීතියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිඳිමින් මෙලෙස රජය හා සම්බන්ධ ගනුදෙනුවක පාර්ශවකරුවෙකු විය නොහැකිය. එය වරප්‍රසාද උල්ලංඝනය කිරීමකි.

එවැනි අවස්ථාවක ඔහු හෝ ඇය එකී මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුස්සෙකු ලෙස දැක්වෙයි.

මේ අතර එම පෞද්ගලික විශ්වවිද්‍යාලයට අරමුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන්ද පවතින්නේ විවාදාත්මක තත්ත්වයකි.

කෙසේවෙතත් පසුගිය දිනවල හිස්බුල්ලා මහතා පැවසුවේ එළඹෙන ජනවාරි 03 වැනි දින මෙම විශ්වවිද්‍යාලය විවෘත කරන බවයි. එය රජයට පවරා ගැනීමේ හැකියාවක් නොමැති බවද ඔහු සඳහන් කර තිබේ.

(LNW)