Sunday, December 22, 2024
Follow Us
කොළඹ නගර සභාව අපි කියපු දේ ඇහුවෙ නැහැ

නිහාල් රූපසිංහ ලේකම්- මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

කොළඹ කුණු ප්‍රශ්නය නැවත මතුවූයේ කෙරවලපිටිය අංගණයට කසළ බාරගැනීම නොකළ හැකි තත්ත්වයට පත්වූ බැවිනි .විකල්පය වශයෙන් අරුවක්කාලුවට කසළ යැවීම දැන් ඇරඹී ඇතත් ඒ සම්බන්ධයෙන් ද ජනතාව විවිධ විරෝධතා මතු කරනු දැකිය හැකි විය. කසළ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවකට මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ එහාඉවුරට කැඳවූයේ එහෙයිනි.

* කොළඹ කුණු කඳු නාය යන තත්ත්වයක් තිබියදී, නැවත වතාවක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කුණු ගඳ පැතිරුණා. මොකක් ද හේතුව?

අවුරුදු ගාණක් පුරා කොළඹ කසළ ප්‍රශ්නයට ස්ථිර විසඳුම් සොයන්න විවිධ රජයන් උත්සාහ ගත්තා. ඒ උත්සාහයේ දී ලෝක බැංකු ආධාර අරගෙන (dam fill) වේලි පිරවීමක් කරන්න ගියා, නමුත් ඒකට ඉඩ දුන්නෙ නැහැ. ඊට පස්සේ එක එක තැන්වල මේ වැඩේ කරන්න අපි විතරක් නෙවෙයි මීට කලින් හිටපු අයත් උත්සාහ කළා. දොම්පෙ විතරක් දිනකට ටොන් 90ක් දාන්න පුළුවන් ස්ථානයක් නිර්මාණය වුණා.

ඒත් ඒක ප්‍රමාණවත් නැහැ. කොළඹ දකුණ, උතුර දෙපැත්තම ගත්තොත් දෛනිකව කසළ ටොන් 2,500ක් විතර එකතු වෙනවා. ඒ ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නැහැ. මෙගා පොලිස් අමාත්‍යාංශය පිහිටෙව්වාට පස්සේ අපි හඳුනාගෙන තිබුණේ කොළඹ කසළ ප්‍රශ්නය ඉක්මනට විසඳන්න ඕනෑ කියලයි. මීතොටමුල්ල ඛේදවාචකයට පස්සේ නගර සභා, පළාත් සභා ප්‍රශ්නයක් වුණත් ආණ්ඩුව විසින් මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් හොයන්න අපට පැවරුවා.

* කොහොම නමුත්, ප්‍රශ්නකාරී අරුවක්කාලු කසළ රඳවනය නිර්මාණය වුණේ ඔබ අමාත්‍යාංශය යටතේ. අද එය අසාර්ථක ව්‍යාපෘතියක් කියලා නේද මේ ඔප්පු වෙලා තියෙන්නේ?

කොළඹ කසළ ප්‍රශ්නය විසඳන්න ඕනෑ කියන තැන ඉදලා කලින් ආණ්ඩුත් පුත්තලමේ කසළ රඳවනයක් හදන්න ඕන කියන යෝජනාවක් කරලා තිබුණා. නමුත් අරුවක්කාලු කසළ රඳවනය ඉදිකරන්න පරිසර අධිකාරිය අනුමැතිය දීලා තිබුණේ නැහැ. ඊට හේතුව තමයි අරුවක්කාලු පිහිටලා තිබුණේ විල්පත්තු ආරක්ෂක කලාපයේ නිසා. ඊට පස්සේ අපි ඒක වෙනස් කරලා එතැනින් එළියට ගත්තා. මීතොටමුල්ල නාය ගිය නිසා ඒක කැලණියට ගෙනාවා. ඒවාට අපි අලුතෙන් පරිසර අධ්‍යයන වාර්තා ගත්තා.

එහෙම කරලා ලංකාවේ පළමු වතාවට මෙවැනි විශාල ව්‍යාපෘතියක් සාර්ථකව ඉස්සරහට යනවා. අපේ අමාත්‍යාංශය යටතේ තියෙන පහත් බිම් ගොඩ කිරීමේ සංස්ථාවට අයත් කෙළවරපිටිය ඉඩමකට තාවකාලිකව කසළ බැහැර කරන්න ගත්තා. ඒකෙන් විශාල පරිසර හානියක් වෙනවා දැන දැනත් කරන්න දෙයක් නැති නිසා කළා. එහෙම කරලා අරුවක්කාලු කොන්ත්‍රාත්කරුට නියෝගයක් දුන්නා මාස අටක් ඇතුළත ටොන් 600ක් දාන්න පුළුවන් පළමු අදියර ඉවර කරන්න ඕනෑ කියලා. ඒත් මේකට කෝච්චි ගේන්න ඕනෑ, කෝචිචි පාරවල් හදන්න ඕනෑ. ඒවායේ වැඩ ඉවර කරන්න වෙන්නේ ලබන මාර්තුවල. ඒ නිසා අපිට මේ ව්‍යාපෘතියේ ඉතිරි කාර්යයන්වලට කාලය වැය වෙනවා.

* කොළඹ නගර සභාව චෝදනා කරන්නේ, කසළ රැගෙන යාමේ වියදම් අධික වීම අර්බුදයක් කියලා. ඒකට හේතුව මේ තෝරා ගත් ස්ථානය නෙවෙයි ද?

ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ අපි කොළඹ නගර සභාවට, කෙළවරපිටියට කසළ දාන එක වැඩි කාලයක් කරන්න බෑ කියලා කිව්වා. එහෙම කියලා අපි දැනුම් දුන්නා කෝච්චි හරි යනකල් පාරෙන් කසළ ගෙනියන්න ලැහැස්ති වෙන්න කියලා. ඒ අය මොන තීන්දු තීරණ ගත්තාද කියලා අපි දන්නෙ නැහැ. නමුත් කෙළවරපිටියේ අපේ රඳවනයේ උපරිම ප්‍රමාණයට ආවා. ඊට පස්සේ මම එතැනට කසළ බාර ගන්න එක තහනම් කළා. ගිය මාර්තු ඉදලා අරුවක්කාලුවට දිනකට ටොන් 600ක් දාන්න සූදානම් කරලා තිබුණා. අපි දිගින් දිගටම නගර සභාවට කිව්වා මේ කසළ අරුවක්කාලුවට දාන්න කියලා. අපි කිව්ව දේට ඒ අය ඇහුන්කන් දුන්න ද කියලා අපි දන්නෙ නැහැ.

* කොහොම නමුත් කොළඹ ගඳ ගහන තැන තැන කුණු කඳු ගොඩගැහෙන්න ගත්තා. ඒ අතර අරුවක්කාලුවටත් ඒ ඒ ප්‍රාදේශීය සභාවලිනුත් මේ අංගණයට ප්‍රශ්න මතුවුණා?

ගිය මාර්තු මාසයේ ඉදලා මේ ප්‍රශ්නය ආවා. අපි පුත්තලම දිස්ත්‍රික්කයේ සභාවලට කතා කරලා කිව්වා ඒ අයටත් මේ අංගණයට කසළ දාන්න කියලා. එහෙම වුණත්, එක එක විරෝධතා මතුවුණා. ඒ විරෝධතාවලටත් අවධානය යොමු කරලා, පුත්තලමට කසළ ගෙනියන්න පරිසර අධිකාරියෙන් අවසරයකුත් අරන් දුන්නා. එතැනදී මොන ලොරිවල ද ගෙනියන්න ඕන, කොහොම ද ගෙනියන්න ඕන කියලා නිර්දේශ වුණා. ඒ සියලුම පරිසර වාර්තාත් තිබියදී, රජය බිලියන 22ක් විතර වියදම් කරලා හදපු කසළ අංගණයක් තිබියදීත් මේ ප්‍රශ්නය මතුවුණා.

අපි අරුවක්කාලු ප්‍රාදේශීය සභාව එක්කත් කතා කළා. මේ ලොරි ධාවනය කරනකොට ඒ බල ප්‍රදේශවල මාර්ග පද්ධතියට ප්‍රශ්නයක් එනවා. ඒ නිසා නගර සභාවත් අපිත් එකඟ වුණා අරුවක්කාලු ගෙනියන කසළ ටොන් එකකට රුපියල් 400 හෝ 500ක් තාවකාලිකව ගෙවන්න. මේ ප්‍රශ්නය ගැන කතා කරන්න රජයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒකෙ සභාපති මම. එතැනදී දීර්ඝ කාලීනව කොයිතරම් ගාස්තුවක් අය කළ යුතුද? කවුද මේවා පාලනය කරන්නේ යන්න ගැන තීරණයක් ගන්න ඕනෑ.

* කොළඹ කුණු ගොඩගැහුණේ ඇයි?

නගර සභාව අපි කියපු දේ ඇහුවෙ නැහැ. විශාල මුදලක් වැය කරන නගර සභාව මෙතැනදී මේ වියදම් ගැන කතා කරනවා. එයාලා හැමදාම කුණු ටික කොහේ හරි තැනක නිකන් දාන්න පුළුවන් කියලා හිතුවා. අපි ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ තමයි කිව්වෙ ලැහැස්ති වෙන්න කියලා. ඇහුවේ නැහැ. විකල්පයක් නැතිනම් ඒත් කමක් නැහැ. විකල්පයක් තිබියදීත් බලාන හිටියා. අන්තිමට දැන් කුණු ටික අරන් යනවා.

* නගර සභාව වැය කරන මුදල ප්‍රශ්නයක් නැහැ කියල ද ඔබතුමා කියන්නේ?

ඇත්තටම ඔව්.. ඊට වඩා පාඩුවක් තමයි මුතුරාජවෙලට, කෙළවරපිටියට කුණු දාන එක. මම දන්න විදිහට කොළඹ නගර සභාව කුණු එකතු කරන්න බිලියනයක් විතර වියදම් කරනවා. ඒවා බැහැර කිරීමත් ඒ අයගේ යුතුකමක්. මේ ප්‍රශ්නය තියෙන්නෙ ලොරිවලින් කුණු අදින හින්දයි. කෝච්චියෙන් මේ වැඩේ කරනකොට මේ මුදල තවත් අඩුවෙනවා. අපි අමාත්‍යාංශය විදිහට නගර සභාවේ ප්‍රශ්නය විසඳන්න යන්නෙ නැහැ. ඒක එයාලගෙ ප්‍රශ්නයක්. ආණ්ඩුව අපිට දුන්න නියමය දිනකට ටොන් 600ක කසළ රඳවනයක් ඕනෑ කියන එක. අපි අපේ වගකීම ඉටු කළා. අරුවක්කාලු ඉදිකිරීමට මතුවුණ ගැටලු හැම එකක්ම ජනපතිතුමා සහ අගමැතිතුමා එකතුවෙලා විසඳලා දුන්නා. දැන් අපේ වැඩේ ඉවරයි. තියෙන්නේ නගර සභාවට වැඩ කරන්න.

* ලංකාවේ ඉදිකෙරෙන බොහෝ ව්‍යාපෘති පාරිසරික අධ්‍යයන වාර්තා කඩ කරලා ඉදිකරනවා කියලා පරිසරවේදීන් පෙන්නලා දීලා තිබුණා?

කොළඹ වරාය නගරය ප්ලෑන් කරනකොට මීගමුවේ ධීවරයෝ කෑ ගැහුවේ මාළු නැතිවෙනවා කියලා. අද වෙනකොට වරාය නගරය පුරවලා ඉවරයි. මාළු නැති වුණෙත් නැහැ, ධීවරයො නැති වුණෙත් නැහැ. අපි පරිසරය ගැන විශාල උනන්දුවක් දක්වනවා. වරාය නගරයට විතරක් පරිසර කොන්දේසි 72ක් දීලා තියෙනවා. ඒවා බල බල අපි වැඩ කරනවා. අරුවක්කාලුවට පරිසර කොන්දේසි 147ක් තියෙනවා.

අපි කොන්දේසි කඩනව ද කියලා පරිසර නිලධාරි මහත්තුරු පැය ගාණක් අපිත් එක්ක සාකච්ඡා කළා. මෙච්චර මුදල් වැය කරලා අපි එතැන ව්‍යාපෘතියක් කරන්නේ වගකීමක් ඇතිව. මම මහවැලි කඩිනම් ව්‍යාපාරයේ අවුරුදු 35ක් හිටපු ඉංජිනේරුවෙක්. එතැනදී සමාජීය හා පාරිසරික කියන කාරණා ගැන අපි හිතුවා. ඒ නිසා අවුරුදු 40ක් තිස්සේ ඉංජිනේරුවෙක් විදිහට ගත්තු අත්දැකීම් එක්ක මේ ඉදිකරන ව්‍යාපෘතිවලින් සමාජීය ප්‍රශ්න, පරිසර ප්‍රශ්න ඉදිරියේ දී එනවට මම කැමැති නැහැ.

* මහ නගර සංවර්ධන අමාත්‍යාංශය කිව්ව ම ඒ තුළ ගැබ්වෙලා තියෙන කාර්යය කෙරෙන්නෙ නෑ නේද?

තට්ටු එකසිය ගණන් ගොඩනැඟිලි අපිට හදන්න පුළුවන්. තව තවත් වරාය නගර හදන්න පුළුවන්. උඩින් යන දුම්රිය මාර්ග හදන්න පුළුවන්. ඒවා අපිට අභියෝග නෙවෙයි. අපිට තියෙන අභියෝගය තමයි සමාජීය සහ පාරිසරික ප්‍රශ්න. මේ හැම දෙයක් ම අපි කරන්නෙ ජනතාවට. ජනතාවගෙ හෙට දවසට. ජනතාවගෙ දියුණුව කොන්ක්‍රීට් ජනපද නෙවෙයි. උඩින් යන දුම්රිය නෙවෙයි. මුළු ලංකාව ම උද්‍යානයක්. අපිට මේ රට සිංගප්පූරුවක් කරන්නවත්, බැංකොක් කරන්නවත් වුවමනාවක් නැහැ. මේ ලංකාව ලංකාව විදිහට තියාගෙන කොළඹ නගරය අවට තියෙන පරිසර පද්ධති රැකගෙන තමයි අපි ඉස්සරහට යන්නෙ.

* අපේ කුණු දාන්න තැනක් නැතිව දඟලද්දී, රටේ ජනතාවට පිටරටිනුත් කුණු මෙට්‍රික් ටොන් 27,000ක ආනනය කරලා දුන්නා නේද?

මම දැක්කා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒ ගැන. ඒ කරලා තියෙන වැඩේ සම්පූර්ණයෙන් වැරැදියි. මේවා හොරෙන් කරන වැඩ. සම්පූර්ණයෙන් ම මේ වගේ වැඩ නැවැත්විය යුතුයි. අපිට කුණු විකුණලා ජීවත්වීමේ මානසිකත්වයක් නැහැ.

* කුණු එකතු කිරීමේ දී පැන නඟින අනෙක් ප්‍රශ්නය තමයි වෙන් කිරීම්. ඒක හරිහැටි වෙනව ද?

මම දන්න හැටියට 2025 වන විට සියලුම කුණු වෙන් කරන්න ඕන. දැන් ඒවා පටන් ගෙන තියෙනවා. නගර සභාවටත් වඩා අපිත් ඒ ගැන වැඩසටහන් කරනවා. ඔබ අහන කාරණය 2025දී විය යුතුම දෙයක්. එතෙක් මේ කුණු ප්‍රශ්නය වරින් වර මතුවෙන්න පුළුවන්. ඉදිරියේ දී කුණු බාර ගන්න වෙන්නේ වෙන් කළ කුණු විතරයි. පහුගිය දවස්වල කොළඹ කුණු ගොඩගැහුණ එකේ වගකීම සම්පූර්ණයෙන් නගර සභාව බාර ගත යුතුයි.

(Dinamina)