Friday, April 19, 2024
Follow Us
දේශීය සංචාරකයන්ට තහනම් කලාප ඉදිරියේදී

ලබන බ්‍රහස්පතින්දා (21දා) සිට සංචාරකයන් සඳහා ගුවන් තොටු​පොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව විදෙස් සංචාරකයන්ට වෙන් කරන ලද හෝටල් 50 කට වැඩි සංඛ්‍යාවක් සමග ගනුදෙනු කිරීම (ප්‍රවේශවීම) ප්‍රදේශවාසීන්ට සහ දේශීය සංචාරකයන්ට තහනම් කලාප බවට පත්කෙරෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනාවරණය කරයි. මෙම සියලුම හෝටල් කොළඹින් පිටත ප්‍රදේශවල පිහිටා ඇති අතර ඒවා සිනමන්, ටාජ්, ජෙට්වින්ග්, සීට්‍රස්, අමායා හා හෙරිටන්ස් යන හෝටල්ජාලවලට අයත් වේ. එසේම සාප්පු සවාරි සඳහා ප්‍රසිද්ධ කේප් වැලිගම වැනි හෝටල් කිහිපයක්ද මෙලෙස දේශීය සංචාරකයන් සඳහා වසා දැමෙන හෝටල් අතර වේ.

මෙරටට නැවත සංචාරකයන් ගෙන ඒම සම්බන්ධයෙන් පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු සඳහන් කළේ දේශීය හා විදේශීය සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැළැක්වීම සඳහා මෙලෙස හෝටල්වලට අදාළ වෙරළ තීරයන් තහනම් ප්‍රදේශ බවට පත් කරමින් හෝටල් පරිශ්‍රවලට ප්‍රවේශවීම සීමා කෙරෙන බවයි.

විශේෂයෙන්ම ප්‍රදේශවාසීන් අදාළ හෝටල්වල රැඳී සිටින විදේශීය සංචාරකයන්ට සමීප නොවීම සඳහා හෝටල්වලට අයත් වෙරළ මායිම්වල වැටවල් ඉදිකිරීමටද අධිකාරිය විසින් උපදෙස් ලබාදී ඇත. ලබන ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පළමු දින 14 මෙම හෝටල තුළ අනිවාර්යයෙන් රැඳී සිටිය යුතුය. පසුගිය ජනවාරි 15 දා වනවිට හෝටල් 55 ක් සංචාරකයන්ට සුදුසු පළමු මට්ටමේ හෝටල් ලෙස අධිකාරියේ ලියාපදිංචි කර ඇති අතර ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අධිකාරිය බලාපොරොත්තු වෙයි.

(Aruna)