Friday, October 02, 2026
Follow Us
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ 19 වන සංවත්සරය සැමරේ

“2030 සුනිත්‍ය බලශක්ති ඉලක්ක සපුරා ගැනීම සදහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විශ්වාසය තහවුරු කරමින් සිටිනවා” - බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ 19 වන සංවත්සරය ඊයේ (01) ආයතනික බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

කෙටි සැමරුම් වැඩසටහනක් ලෙස පැවති අවස්ථාව සදහා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති, මහාචාර්ය ටි. එම්.ඩබ්ලිව්. ජේ. බණ්ඩාර මහතා ඇතුළු ඉහළ නිලධාරීන් රැසක් සහභාගි විය.

2030 සුනිත්‍ය බලශක්ති ඉලක්ක සපුරා ගැනීම සදහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විශ්වාසය තහවුරු කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙහි දී පැවසීය.

මෙහි දී තාක්ෂණික නිලධාරීන් හට නව පත්වීම් ලිපි ප්‍රදානයක් ද අමාත්‍යතුමා විසින් සිදු කළ අතර පසුව සාංවත්සරික සැමරුම වෙනුවෙන් පැලයක් රෝපණය කරන ලදී.

වසර 19ක කාලය තුළ, වඩාත් පවිත්‍ර, හරිතවත් සහ තිරසාර බලශක්ති අනාගතයක් කරා රට හැඩගැස්වීම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති අතර පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ පුරවැසියන් දැනුවත් කිරීම ඒ අතරින් ප්‍රධාන වේ.