Thursday, June 04, 2026
Follow Us
තෙවන Technology Business Incubation center විවෘත කෙරේ
විද්යා හා තාක්ෂණ අමාත්යාංශය ක්රියාත්මක කරන රාජ්ය විශ්ව විද්යාල ආශ්රිතව සේවා හා ආධාරක මධ්යස්ථාන ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ වූ තෙවන මධ්යස්ථානය වන Technology Business Incubation center විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන සහ කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් මඩකලපුව පිහිටි නැගෙනහිර විශ්වවිද්යාලයීය තාක්ෂණ පීඨ පරිශ්රයේදී අද (04) විවෘත කෙරිණි.
 
විද්යා හා තාක්ෂණ අමාත්යාංශය සහ නැගෙනහිර විශ්ව විද්යාලය සහයෝගිතාවයෙන් නවීන පර්යේෂණ උපකරණ සහිතව මෙම මධ්යස්ථානය ස්ථාපිත කර තිබේ. නැගෙනහිර පළාතේ විශ්ව විද්යාලයීය පර්යේෂණ මෙන්ම නවෝත්පාදන සහ සුළු හා මධ්යපරිමාණ ව්යවසායකයන් අතර සම්බන්ධතාව ගොඩනගමින් කලාපීය ව්යවසායකත්වය නංවාලීම මෙම මධ්යස්ථානය ස්ථාපිත කිරීමේ අරමුණයි .
 
නැගෙනහිර පළාත තුල ප්රමුඛව පවතින කෘෂිකාර්මික, පශුසම්පත් සහ සාගර සම්පත් උපරිම ලෙස ප්රයෝජනයට ගනිමින් නවීන විද්යා හා තාක්ෂණ දැනුම ඔස්සේ අගය එකතු කල නිෂ්පාදන බිහි කිරීම සහ ඒවා වානීජකරණයට අවස්ථාව සලසමින් ව්යවාසයකත්වය ශක්තිමත් කිරිමට මෙම මධ්යස්ථානය ඉදිරියේදී ක්රියාත්මක වනු ඇත. විශ්ව විද්යාල ප්රජාවට සහ එය හරහා කලාපිය ව්යවසායකයින් වෙත නවීන රසායනාගාර පහසුකම් සහිත තාක්ෂණික උපදෙස් සහ ව්යාපාරික මාර්ගෝපදේශ ලබාදීම තුලින් විශ්ව විද්යාලයීය පර්යේෂණ සංකල්ප ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්රයෝගිකව යොදාගැනීමට අපේක්ෂිතය.
 
මෙම අවස්ථාවට විද්යා හා තාක්ෂණ අමාත්යාංශ ලේකම් මොහොමඩ් නවවී මහතා ඇතුළු අමාත්යාංශ නිලධාරීන්, මඩකලපුව දිස්ත්රික් ලේකම් ජේ.එස්.අරුල්රාජ්, නැගෙනහිර විශ්ව විද්යාලයේ උපකුලපති මහාචාර්ය පී. පරතීපන් ඇතුළු විශ්ව විද්යාල නිලධාරීන්, විදවතුන්, විශ්ව විද්යාල සිසුන්, ව්යවසායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.