“ප්‍රජා ශක්ති වැඩසටහන, ජනතාවාදී පාලනයක ප්රජාතන්ත්රවාදී ලක්ෂණ පෙන්වන මූලික අවස්ථාවක් ප්රදේශයට ආවේණික ආර්ථික රටාව හඳුනාගෙන ගම සංවර්ධනය කිරීම මෙම ව්යාපෘතියේ අරමුණයි”
- අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය
ප්රජා ශක්ති වැඩසටහන, ජනතාවාදී පාලනයක ප්රජාතන්ත්රවාදී ලක්ෂණ පෙන්වන මූලික අවස්ථාවක් බවත්, ප්රදේශයට ආවේණික ආර්ථික රටාව හදුනාගෙන ගම සංවර්ධනය කිරීම මෙම ව්යාපෘතියේ අරමුණ බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජනතාවාදී පාලනයක් තුළ ජනතාව අපේක්ෂා කළ සැබෑ අර්ථය එක්කරමින් ග්රාමීය සංවර්ධනය හරහා රටේ සංවර්ධනයට ප්රජාව සහභාගී කර ගැනීම වෙනුවෙන් ග්රාමීය සංවර්ධනය, සමාජ ආරක්ෂණ ප්රජා සවිබල ගැන්වීමේ අමාත්යාංශය මගින් ක්රියාත්මක කෙරෙන ප්රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්යාපාරයේ "ගම් දහසක වැඩ දහසක්" ව්යාපෘතියේ කොළඹ දිස්ත්රික් සමාරම්භක වැඩසටහන වන නාම්පමුණුව වසමේ අද (ජුනි 02) පැවති ප්රජා ශක්ති සංවර්ධන සභාවේ පුරන් කුඹුරු අස්වැදීමේ ව්යාපෘතියේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම අදහස් පළ කළාය.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිනිය,
"රජයේ ජනතාවාදී පාලනයක ප්රජාතන්ත්රවාදී ලක්ෂණ පෙන්වන මූලික අවස්ථාවක් ලෙස ප්රජා ශක්ති වැඩසටහන හදුනාගත හැකියි. මෙම ව්යාපෘතියේ නාමික අර්ථයට එහා ගිය අර්ථය නම් ජනතාවාදී පාලනයක් යනු මූලිකව රජයේ කාර්යක් පමණක් නොවන බවත් එයට රජය, රාජ්ය නිලධාරීන් හා ජනතාව දරන සාමූහික ප්රයත්නයක් බව වටහා ගැනීමයි. මැතිවරණ සමයේ පමණක් පාලකයා ජනතාව හා ගැටීම නොව ජනතාව පාලනයට සක්රීයව දායක කරගැනීමේ සංකල්පය පැළ කරන සංවිධාන ව්යුහය ප්රජා ශක්ති වැඩසටහන හරහා සෑම ග්රාම නිලධාරි වසමක්ම ආවරණය වන පරිදි පිහිටුවා තිබෙනවා.
නාමික සවිබල ගැන්වීමේ ව්යාපෘති මීට පෙර ද පැවතුණා. නමුත් එමගින් ජනතාවට නියමිත ප්රතිලාභ නොලැබුණු අතර දේශපාලකයා පමණක් සවිබල වීමයි සිදුවුණේ. යැපුම් මානසිකත්වයෙන් බැහැර වූ ජනතාව 2024 දී සිදුකල පරිවර්තනයෙන් පසුව රට ගොඩනැගීම තමන් අතට ගනිමින් මෙම වැඩසටහනට එක් වෙනවා.ආර්ථික සවිබලගැන්වීම අරමුණු කරගනිමින් ස්වකීය ප්රදේශයේ ඇති ආවේණික ආර්ථික රටාව හදුනාගෙන ගොඩනැංවීම මෙම ව්යාපෘති හරහා සිදු කළ හැකියි.
ලෝක දේශපාලනික වටපිටාව තුළ පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ ආර්ථික සුරක්ෂිතතාව සදහා ස්වයංපෝෂි ජීවන රටාව ඕනෑම රටක ජනතාවට ඉතා වැදගත්. ආනයනය කළ යුතුම දේ පමණක් ආනයනය කරමින් නිෂ්පාදනය කළහැකි අත්යවශ්ය දේ රට තුළ නිපදවා ගත යුතුයි. ඒ ඔස්සේ ලෝක තත්ත්වයන්ට මුහුණ දිය හැකි ආර්ථිකයක් ආහාර සුරක්ෂිතතාව ඔස්සේ අප ගොඩනගාගත යුතුයි.
ආණ්ඩුව නිලධාරීන් හා ජනතාව අතර මනා සහයෝගයක් පවත්වා ගනිමින් මෙම ව්යාපෘති ඔස්සේ ජනතාවට දිළිදුකම තුරන් වූ විට පොහොසත් රටක් ගොඩනගනැගෙන අතර එවිට නිතැතින්ම ලස්සන ජීවිතයක් නිර්මාණය වන බව අග්රාමාත්යතුමිය තවදුරටත් ප්රකාශ කර සිටියාය.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුණආරච්චි, කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුම කළුගේ, බොරලැස්ගමුව නගර සභාවේ සභාපති ප්රදීප් නිශාන්ත වෙදමුල්ල, නාගරික මන්ත්රීවරුන්, රාජ්ය නිලධාරීන්,ගොවි සමිති නියෝජිතයින්, ඇතුළු පිරිසක් එක්විය.