Tuesday, June 02, 2026
Follow Us
කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයේ ආලෝකකරණ පද්ධතිය සක්‍රිය කිරීමට රජය තීරණය කරයි
කෙරවලපිටිය අන්තර් හුවමාරුව ඇතුළුව කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයේ මාර්ග ආලෝකකරණ පද්ධතිය පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
 
අදාළ ආලෝකකරණ පද්ධතිය මත්ද්රව්යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් විසින් සිදුකරන ලද විනාශකාරී ක්රියා සහ සොරකම් හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව ඇති අතර, මේ වන විට එහි ආසන්න වශයෙන් සියයට 85ක් අක්රීය තත්ත්වයේ පවතින බව වාර්තා වේ.
 
ඒ හේතුවෙන් මාර්ග ආරක්ෂාව සහ රියදුරන්ගේ පහසුව සලකා බලමින් අධිවේගී මාර්ගයේ ප්රමුඛ කොටස් කිහිපයක් ප්රථම අදියර යටතේ ආලෝකකරණය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
 
ඒ අනුව, පෑලියගොඩ, කෙරවලපිටිය, සීදුව සහ ජාඇල අන්තර් හුවමාරු ප්රදේශ මෙන්ම නව කැලණි පාලම සිට පෑලියගොඩ මත්ස්ය වෙළෙඳපොළ දක්වා සහ සීදුව සිට බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ දක්වා වූ නිදහස් මාර්ග කොටස් මෙම ව්යාපෘතියට ඇතුළත් වේ.
 
මාර්ග ආලෝකකරණ පද්ධතිය පුනරුත්ථාපනය කිරීම සහ නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 1,098.50ක ඇස්තමේන්තුගත පිරිවැයක් දරා ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට නියමිතයි.
ජාතික තරගකාරී ප්රසම්පාදන ක්රමවේදය යටතේ තෝරාගනු ලබන කොන්ත්රාත්කරුවන් මඟින් පැකේජ දෙකක් ලෙස මෙම කාර්යය ඉටු කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.