Saturday, March 14, 2026
Follow Us
මෙරට හෙද සේවාවට නවක සිසු හෙද හෙදියන් 2918 ක්
 මහජන ආරක්ෂක පනතින් විටින් විට ගැසට් කළත් නොකළත් සෞඛ්ය යනු සැමවිටම අත්යවශ්ය සේවාවක්
- සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස -

 

මෙරට සෞඛ්ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සිසු හෙද පුහුණුව සඳහා 2918 දෙනෙකු බදවා ගැනීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් අද (14)  අරලියගහ මන්දිර ප්රධාන ශාලාවේ දී සිදු කෙරිණි. 2025 වර්ෂයට අදාළ 2022 කණ්ඩායමේ තෝරාගත් අයදුම්කරුවන් මෙලෙස දිවයින පුරා ස්ථාපිත හෙද විදුහල් 15 ක වසර 03ක පුහුණුව සඳහා අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.
 
මෙහි දී නවක සිසු හෙද හෙදියන් සඳහා සංකේතාත්මකව අමාත්යවරයා අතින් පත්වීම් ලිපි ප්රදානය කළ අතර හෙද විදුහල්පතිවරුන් හට තම හෙද විදුහලෙන් පුහුණුවීම් ලබන හෙද සිසු සිසුවියන්ගේ නාම ලේඛනද අමාත්යවරයා විසින් ලබා දීමට කටයුතු කෙරිණි.
 
අනතුරුව අදහස් දැක්වූ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මෙම පත්වීම් ලබා දීමේ අවස්ථාව පහසුවෙන් උදාකර ගත් අවස්ථාවක් නොවන බවත්, මුල් අවස්ථාවේ බදවා ගැනීමට අවසර හිමිවූයේ 2625කට බවත් පැවසීය. ඊට පසුව අදාළ රාජ්ය ආයතන සමග සාකච්ඡා කර 2918 දක්වා එම ප්රමාණය වැඩිකර ගැනීමට හැකිවූ බවත් ඒ අනුව 2020,2021 සහ 2022 යන වර්ෂවල උසස්පෙළ සමත් මෙම පිරිස සඳහා අවස්ථාව ලැබුණු බවත් සඳහන් කර සිටියේය.
 
ලබන මාර්තු 19 සහ 20 දෙදින මෙම සියලු දෙනා තෝරාගත් හෙද විදුහල්වල ලියාපදිංචි කිරීමට කටයුතු කරන බවත්, අප්රේල් මස 06 වන දින ඊට අදාළ පුහුණුවීම් ආරම්භ වන බවත් පැවසූ අමාත්යවරයා 2029 වර්ෂයේ අප්රේල් මාසයේ දී අවසන් වසරේ විභාගයට මෙම කණ්ඩායම මුහුණ දෙන බවත්, එම සියලු දෙනා 2029 ජුනි මාසය වන විට හෙද හෙදියන් ලෙස මෙරට රාජ්ය සේවාවට ස්ථිරවම බදවා ගැනීමට සැලසුම්කර ඇති බවත් පැවසීය.
 
මේ වන විට මධ්යම රජය යටතේ හෙද හෙදියන් 29,749ක් සහ පළාත් සභා මට්ටමින් 13,804ක් ඇතුළුව හෙද හෙදියන් 43,553ක් මෙරට සෞඛ්ය සේවාවේ නිරත වන බව සිහිපත් කළ අමාත්යවරයා සෞඛ්ය සේවාව ලක්ෂ එකහමාරක විශාල බළඇණියකින් සමන්විත බවද පැවසීය.
 
එම ලක්ෂ එක හමාරෙන් 43,553ක්ම හෙද හෙදියන් වන අතර, එය ප්රතිශතයක් ලෙස ගත් විට 30%ක් බවද පැවසීය. මෙම ප්රමාණය තවමත් සෞඛ්ය සේවාවට අවශ්ය ප්රමාණයම නොවන බව පැවසූ අමාත්යවරයා ප්රශස්ථ සෞඛ්ය සේවාවක් ලබා දීම සඳහා තිබෙන ඉලක්ක ලෙස ලෝකයේ පිළිගත් ප්රමිතීන් අනුව හෙද හෙදියන් විශාළ ප්රමාණයක් මෙරට සෞඛ්ය සේවාව සඳහා අවශ්ය වන බව ද සඳහන් කර සිටියේය. හෙද සේවාවට බදවා ගැනීමේ දී නිසි ක්රමවේදයක්, පුහුණුවක් අනුගමනය කළ යුතු බවත්, මේ වන විට හෙද විදුහල්වල 2018-2019 වර්ෂයන්ට අදාළ උසස්පෙළ සමත් කණ්ඩායම 2989ක් පුහුණුව ලබන බවත් ජූලි මාසයේ 15 වනදාට ඔවුන්ට අවසන් වසරේ විභාගය පැවැත්වෙන බවත්, මෙම වර්ෂයේ ඔක්තොම්බර් මාසයේ දී එම කණ්ඩායම ස්ථිර සේවාවට බදවා ගැනීමට හැකි වන බවත් පැවසීය.
 
තවදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා, පසුගිය වසරේ මැයි සහ නොවැම්බර් මාසවල දී අලුතින් හෙද සේවාවට 3,441 හෙද ඩිප්ලෝමාධාරීන් ලෙස එක්කර ගත් බව පැවසීය. එමෙන්ම ඔක්තොම්බර් මාසයේ දී ආරම්භව මෙම මැයි මාසයෙන් අවසන් වන තවත් හෙද උපාධිධාරීන් 517ක් මේ වන විට පුහුණුව ලබමින් පවතින බව ද පැවසීය. ඒ අනුව මෙම හෙද උපාධිධාරීන් ද ඇතුලුව තවත් 3,900ක් හෙද සේවාවට ඇතුළත් කර ගැනීමට හැකිවූ බව ද සඳහන් කර සිටියේය.
 
අද පත්වීම් ගන්නා මෙම පිරිස පුහුණුව අවසන්කර සෞඛ්ය සේවාවට ඇතුලත් වන විට මෙරට සෞඛ්ය සේවාව ව්යුහාත්මකව ඉතා විශාල පරිවර්තනයකට ලක්වී තිබේවි යැයි බලාපොරොත්තු තබා ගන්නා ලෙසත් සදහන් කළ අමාත්යවරයා ඒ වෙනුවෙන් සෞඛ්ය අමාත්යංශය මේ වන විට එම ව්යුහාත්මක වෙනස වෙනුවෙන් කටයුතුකරමින් සිටින බවත් පැවසීය. ප්රතිකාර ලබා ගැනීමට පැමිණෙන පුරවැසියා, රෝගියා වෙනුවෙන් ප්රශස්ථ සෞඛ්ය සේවාවක් ලබා දීමට කටයුතු කිරීම, පුරවැසියාට නිරෝගී දිවි පැවැත්මක් සහතික කිරීම, නීරෝගී ජිවිත කාළය තවත් වසර කිහිපයකින් දිගු කිරීම, ආර්ථිකයට දායක වන පුරවැසියාව සෞඛ්ය සම්පන්නව රැක බලා ගැනීම සෞඛ්ය අමාත්යාංශයට අවශ්ය බව ද අමාත්යවරයා පැවසීය.
 
"මහජන ආරක්ෂක පනතින් විටින්විට ගැසට් කළත් නොකලත් සෞඛ්ය යනු සැමවිටම අත්යවශ්ය සේවාවක්. මෙය රැකියාවක් නොව සේවාවක්"යැයිද පෙන්වා දුන් අමාත්යවරයා සේවයේ යෙදෙන කවර තැනකදී හෝ එම සේවාව කඩා කප්පල් වුවහොත් එය සමස්ත සෞඛ්ය සේවාවට පමනක් නොව සමස්ත රටටම බලපාන බවත් වැඩිදුරටත් පැවසීය.
 
මෙම අවසථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියේය.