සහල් මිල තීරණය කරන මෙරට ප්‍රධානතම සහ පැරණිතම සහල් වෙළෙඳපොළ ලෙස සැලකෙන මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණය නිරීක්ෂණයට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එක්විය.
එම අවස්ථාවට ජාතික සමූකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වුණි.
අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, කුරුණෑගල වැනි වී වගා කරන දිස්ත්‍රික්කවල සිට සහල් මෝල් හිමියන් සිය සහල් නිෂ්පාදන මෙම වෙළෙඳපොළට රැගෙන එන අතර කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගරවල තොග වෙළෙඳුන් දෛනිකව සහල් මිලදී ගැනීමට මරඳගහමුල සහල් වෙළෙඳ මධ්‍යස්ථානය වෙත පැමිණෙයි.
සහල් සැපයුම් දාමයේ තීරණාත්මක පුරුකක් ලෙස සැලකෙන මරඳගහමුල සහල් වෙළෙඳපොළ තුළ රජයේ ගබඩා පද්ධතියක් පවතින අතර 2013 වසරේ ඒවායේ ඉදිකිරීම් සිදු කර තිබුණත් මෙම වසර දක්වාම රජය විසින් එය භාවිතයට ගෙන තිබුණේ නැත.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව, වී අළෙවි මණ්ඩලය හා ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඒකාබද්ධව ගොවීන්ගෙන් රජයේ සහතික මිලට මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමඟ 2025 වසරේ යල කන්නයේදී මෙ. ටොන් 50,000කට ආසන්න වේලන ලද වී තොගයක් රජයට එක් රැස් කර ගැනීමට හැකිව තිබේ.
එලෙස රජය මීලදී ගත් වී තොග, රට පුරා සිටින සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ලවා සහල් බවට පත්කර වෙළෙඳපොළට ක්‍රමානුකූලව මුදාහැරීම සදහා ගබඩා කරන අතර වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 50,000ක් සහල් බවට පත්කර වෙළඳපොලට නිකුත්කිරීම අරඹා ඇති බව මරඳගහමුල පිහිටි රජය සතු ගබඩා සංකීර්ණයේ රජයේ සහල් තොග නිරීක්ෂණයට එක් වූ වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය.
“ 2024 වසරේ ආරම්භ වුණ සහල් අර්බුදය 2025 වසරේ ජනවාරි, පෙබරවාරි වන විට සහල් ඉතා ඉහළ මිලකට වෙළෙඳපොළේ පැවතුණා. හැබැයි 2025 වසරේ අපේ සැලසුම් අනුව 2026 වසරේ මේ කාලය වෙනකොට කැකුළු හාල් රුපියල් 200 ට අඩුවෙන් තියාගන්නත්, නාඩු රුපියල් 210 ට, 220 ට අඩුවෙන් තියාගන්නත් අපි සමත් වුණා. විශේෂයෙන් තොග මිල රුපියල් 210 අඩුවෙන් තියාගන්න මේ වෙනකොට අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ගොවි ජනතාවට සහතික මිලක් ලබා දෙන ගමන්, පාරිභෝගික ජනතාවට සහන මිලක් ලබා දෙමින් අවශ්‍ය සහල් තොග ලබා දෙන්න කටයුතු කරනවා. මේ ගබඩාවල රැස් වන සහල් ජනතාවට ලබාදීම සඳහා සිල්ලර වෙළෙඳසැල් හා සමූපකාරවලටත්, ලංකා සතොසටත් ලබාදීමට ජාතික සතොස විසින් කටයුතු කරමින් තිබෙනවා. මේ අනුව අඛණ්ඩව දිනකට සහල් මෙට්‍රික් ටොන් 300කට වැඩි ප්‍රමාණයක් සහල් වෙමින්, රජයේ ගබඩාවලට එකතු වෙන ගමන් වෙළෙඳපොළට නිදහස් කිරීමත් ජාතික සතොස හරහා සිදුකරනවා. ඒ නිසා වෙළෙඳපොළේ සහල් මිල පාලනය කරන්නත්, ගොවියාට සහතික මිලක් ලබා දීලා ගොවියාත්, පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා කරන්න වී අලෙවි මණ්ඩලයත්, ජාතික සතොසත් ඒකාබද්ධව සහල් මිල අඩු කරන්න මේ වෙනකොට කටයුතු කරලා තිබෙනවා. මෙය අඛණ්ඩව අපි පවත්වාගෙන යනවා. මේ මහ කන්නයේත් වී මෙට්‍රික් ටොන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නවා. මේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉස්සරහට යනවා.” යයිද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
මේ අතර රජය සතුව සහල් ආරක්ෂිත තොග පවතින බැවින් උත්සව සමයේ සහල් මිල ඉහළ යාමක් කිසිසේත් සිදු නොවන බව ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා පැවසීය.
ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරමින්, රට පුරා සිටින සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ කර්මාන්ත ද ආරක්ෂා කරමින් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හරහා ජනතාවට ද පාලන මිලට අඩුවෙන් සහල් ලබාදීමට හැකිව තිබෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.