කඩවත - මිරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) ආරම්භ කෙරිණි.
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ වැඩ නැවතුණු කඩවත - මීරිගම අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් නැවත ආරම්භ කෙරුණු අතර, කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම්ද අලුතින් ආරම්භ කෙරේ. මෙම මීටර් 500ක මාර්ග කොටස මගින් මධ්‍යම අධිවේගී මාර්ගය, අධිවේගී මාර්ග ජාලයට සම්බන්ධ කෙරේ.
මෙම කොටසේ ඉදිකිරීම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 8.692ක් වන අතර, සම්පුර්ණයෙන් දේශීය අරමුදල් මේ සඳහා යොදා ගැනේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37ක් වන අතර, ඒ සඳහා සම්පුර්ණයෙන් වැය කෙරෙන මුදල රුපියල් බිලියන 229.532කි. ඒ සඳහා දේශීය අරමුදල් මෙන්ම චීන රජයේ සහන ණය මුදලක්ද යොදා ගැනේ. 2028 වසරේ මැද භාගය වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිතය.