වත්මන් කොන්ත්‍රාත්කරු හරහා දේශීය අරමුදල් යොදා ගනිමින්, කොහුවල ගුවන් පාලමේ නිම කර නොමැති බිම් මට්ටමේ මාර්ග සම්පූර්ණ කිරීමටත්, ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
හංගේරියානු රජය සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති මූල්‍ය සහයෝගිතාව සඳහා වන රාමුගත ගිවිසුම යටතේ ලැබෙන අරමුදල් මඟින් කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
රට තුළ එවකට පැවති ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන්, හංගේරියාවේ එක්සිම් බැංකුව විසින් අරමුදල් සැපයීම අත්හිටුවීමෙන් අනතුරුව, කොන්ත්‍රාත්කරුගේ අරමුදල් යටතේ කොහුවල ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු අවසන් කර රථවාහන ගමනාගමනය සඳහා මේ වන විට විවෘත කර තිබේ. එසේ වුවද, බිම් මට්ටමේ මාර්ග නිම කර නොමැති බැවින් පදිකයන්ට දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව ඇත. එසේම, ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ද අත්හිටවූ තත්ත්වයෙන්ම තවදුරටත් පවතී.