අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් සකස් කර අවසන් නැති බවත්, සංවාද,අදහස් යෝජනා සහ භාවිතයේ ඇති ගැටළු හදුනාගනිමින් පියවරෙන් පියවර නම්‍යශීලීව සිදු කරන ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන අනුව වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (29) කුරුණැගල දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
පෙළපොත් වෙනුවට නව මොඩියුල් ක්‍රමය හදුන්වා දීම, සම්භාර (credit) ආවරණය වන පරිදි කාලපරිච්ඡේද සකස් කිරීම, ස්වයං අධ්‍යයනය, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීම, විෂයන් තෝරා ගැනීම, එක් එක් දරුවන් සඳහා ඇගයීම් සිදු කිරීම, දරුවාගේ අධ්‍යයන ප්‍රගතිය සොයා බැලීම, ශ්‍රාස්ත්‍රිය සහ කුසලතා විෂය ධාරා තෝරා ගන්නා ආකාරය ඇතුළු නව ප්‍රතිසංස්කරණයට අදාල කරුණු රැසක් මෙහිදී සාකච්චෘ කෙරිණි.
වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,
පවතින අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍යයි කියලා සියලු දෙනා පිළිගන්නවා. ඒ වෙනස විෂය මාලාවේ පමණක් සිදු කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සමස්ථ අධ්‍යාපන පද්ධතිය තුළ මේ වෙනස සිදු විය යුතුයි. ඒ නිසා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ප්‍රධාන කුළුණු පහක් මත සිදු කරන්න කටයුතු කරන්නේ ඒ අනුවයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ඇති වන අදහස්, යෝජනා, සංවාද වගේම ප්‍රායෝගික භාවිතයේ ඇතිවන ගැටළු පිළිබඳවත් අවධානය යොමු කරමින් පියවරෙන් පියවර ඉදිරියට වෙනස්කම් සිදු කරනවා. 2026 අපි සිදු කරන්නේ 1 වසර සහ 6 වසර සඳහා පමණයි.
පැරණි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමයට නව ප්‍රතිසංස්කරණය තුළ උගන්වන්න අවශ්‍ය නැහැ දරුවන් ස්වයං ව අධ්‍යයනය කරලා ගවේෂණය කරලා දැනුම ලබා ගන්නවා. ගුරුවරු සිදු කරන්නේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නෙකු ලෙස නිසි මග පෙන්වීම සිදු කිරීමයි. අද දරුවන් තාක්ෂණික වශයෙන් අපිට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ, නූතන තාකෂණික ලෝකය තුළ ඕන තොරතුරක් ඉක්මනින් ලබා ගන්න දරුවන්ට පුලුවන්, එහිදී සත්‍ය අසත්‍ය, යහපත් අයහපත් දේ අවබෝධ කරගන්නටත්,ගවේෂණශීලි වීමටත් නව අධ්‍යාපනය තුළින් හුරු කරවනවා. ඒ වගේම සහකම්පනයෙන් යුතුව තම පවුලට, සමාජයට, ආර්ථිකයට ධනාත්මක සහයෝගයක් ලබා දෙන වගකීමක් ඇති පුරවැසියෙක් පාසල් අධ්‍යාපනයෙන් බිහි කිරීමයි අපේ අරමුණ.
ඒ නිසා දෙමව්පියන් ගුරුවරුන් වගේම ඉදිරියේදී රැකියා ලබාදෙන ආයතනත් නව අධ්‍යාපන ප්රතිසංස්කරණයෙන් පසු පාසලෙන් පිටවන දරුවන් මොනවගේ පිරිසක්ද කියන අවබෝධය ලබා ගන්න මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හොදින් අවබෝධ කර ගන්න අවශ්‍යයි.
තරගකාරී විභාග ඉලක්ක කරගෙන දරුවන් ඉගෙනීම් කටයුතු සිදු කරන්නේ, විභාගයෙන් පසු දරුවන්ට ඉගෙන ගත්ත දේ අමතකයි. එහෙම අධ්‍යාපනයක් රටකට වැදගත් නෑ. ඒ නිසයි නව ඇගයීම් සහ තක්සේරුකරණය හදුන්වා දෙන්න කටයුතු කරන්නේ.
පෙරපාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වන විට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. ඒ වගේම එක් එක් වෘත්තීය විෂයන් හදුනාගෙන ඒ විෂයන් පාසල් විෂය මාලාවට ඇතළත් කරනවා. වෘත්තීය අධ්‍යාපනයට සාමාජීය වටිනාකමක් මේ මගින් ඇති වෙනවා.
ගුරුවරුන් පුහුණු කිරීම, විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ අදාල පාර්ශ්ව පුහුණු කරවීම අදියරෙන් අදියර අපි සිදු කරනවා.
වියදම් පාලනය කරන්න කියලා පාසල් වහන්න අපිට අවශ්‍ය නැහැ නමුත් සියළු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන පරිදි ග්‍රාමීය පාසල් සංවර්ධනයට ඉදිරියේදී කටයුතු කරනවා. යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෙද්‍ය මධුර සෙනෙවිරත්න, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, ප්‍රධාන ලේකම් අයි. එම්. අයි. ඉලංගකෝන්, වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ජේ. ඒ. එම්. පී. ජයතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන්, අධ්‍යාපන අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය නියෝජනය කරන නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.