Thursday, July 24, 2025
Follow Us
සේවකයන්ගේ පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය
සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත ) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ත්රිත්වය සඳහා ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද (23) සිය සහතිකය සටහන් කළේය.

 මෙම පනත් කෙටුම්පත් ත්රිත්වය සඳහා වූ දෙවනවර කියවීමේ විවාදය ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එහිදී මෙම පනත්කෙටුම්පත් ත්රිත්වයම පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
 
මෙම පනත් කෙටුම්පත් ත්රිත්වය පළමු වර කියවීම සඳහා 2025.06.03 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
 
ඒ අනුව සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ) 2025 අංක 9 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත ලෙසත්, සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත) 2025 අංක 10 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත ලෙසත්, සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 11සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත ලෙසත් බලාත්මක වේ.
 
ඒ අනුව 2025 අංක 09 දරන සේවකයනගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත මගින් සේවකයන්ගේ අයවැය සහන දීමනාව 2025 මාර්තු 31 දින සිට ගෙවීම නැවැත්වීම 2025 අප්රේල් මස 1 වන දින සිට ක්රියාත්මක වූ ලෙස සලකනු ලැබේ.
 
එමෙන්ම 2025 අංක 10 දරන, සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත මගින් 2025 මාර්තු මස 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි අයවැය සහන දීමනාව ගෙවීම නැවැත්වීම , 2025 අප්රේල් මස 1 වන දින සිට ක්රියාත්මක වූ ලෙස සලකනු ලැබේ.
 
එමෙන්ම 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම චේතනය (සංශෝධන) පනතේ ප්රධාන වෙනස්කම් වනුයේ
1. 2025 අප්රේල් 1 සිට දෙසැම්බර් 31 දක්වා:
ජාතික අවම මාසික වේතනය රු. 27,000 (රු. 9,500 ක වැඩි කිරීමකින්)
ජාතික අවම දෛනික චේතනය රු. 1,080 (රු. 380 ක වැඩි කිරීමකින්)
2. 2026 ජනවාරි 1 සිට:
ජාතික අවම මාසික වේතනය රු. 30,000 (තවත් රු. 3,000 ක වැඩි කිරීමකින්)
ජාතික අවම දෛනික චේතනය රු. 1,200 (තවත් රු. 120 ක වැඩි කිරීමකින් )
සහ අයවැය සහන දීමනා සේවකයන්ගේ චේතනයේ කොටසක් ලෙස ඇතුළත් කිරීම සිදු කර තිබේ. එමෙන්ම පනත 2025 අප්රේල් 1 වැනි දින සිට ක්රියාත්මක වූ ලෙස සලකනු ලැබේ.