Tuesday, October 15, 2024
Follow Us
ආපදා සහන සැලසීමට රුපියල් මිලියන 84ක් වෙන් කෙරේ

ආපදා සහන සැලසීම වෙනුවෙන් රුපියන් මිලියන 84ක් මේ වන විට වෙන් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ අතිරේක ලේකම් කේ.ජී.ධර්මතිලක මහතා පවසයි.

 ඒ  මහතා මේ බව පැවසුවේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

පවතින අන්තර් මෝසම් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69කට අයත් පවුල් 40516ක පුද්ගලයින් 158391 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් 

පවුල් 2470ක පුද්ගලයන් 10369 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 79ක මේ වන විට රැඳී සිටින බවත් එ මහතා වැඩිදුරටත්  සඳහන් කළේය.එසේම එම පුද්ගලයන් වෙනුවෙන් පිසූ ආහාර , තේ වේල් දෙකක් ,වෛද්‍ය පහසුකම්,  ද කුඩා දරුවන්ට කිරිපිටි වේල් දෙකක්ද ලබා දීමට කටයුතු කර ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.මේ සඳහා තවත් රුපියල් මිලියන 50ක් රජය අද වෙන් කළ බවද හෙතෙම පැවසීය.

තවද ප්‍රධාන වශයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක ලෙස හඳුනා ගෙන ඇති කොළඹ , කළුතර , ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා රුපියල් මිලියන 33ක් අවශ්‍යතාවන් සඳහා යොදා ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දීමට කටයුතු කර ඇති බව සඳහන් කළ ඒ මහතා අනෙකුත් සියලුම දිස්ත්‍රික්කයන් සඳහා රුපියල් මිලියන 84ක් ලබා දී ඇති බවද පෙන්වා දුන්නේය.

එසේම රුපියල් මිලියන 60ක් අමාත්‍යංශය සතුව පවතින බවත් අවශ්‍යතාවයන්ට අනුව එම මුදල නිදහස් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

මේ වන විට පුද්ගල මරණ තුනක් වාර්තා වී ඇති අතර තුවාල සිදුවීම් 2ක් ද පූර්ණ නිවාස හානි එකක් සහ අර්ධ නිවාස හානි 405ක් වාර්තා වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.