Saturday, October 26, 2024
Follow Us
සමාන සම්පත් හිමි වන පරිදි අධ්‍යාපන ක්‍රමයේ වැය ශීර්ෂයන් සැකසිය යුතුය – අගමැති

නව දැනුම නව තාක්ෂණය උපයෝගී කර ගැනීම  වර්තමාන සිසු පරම්පරාවට අවශ්‍යතම අභියෝගයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (23) පැවැති කොට්ටාව ආනන්ද විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා ,

හැම ජයග්‍රහණයක් වගේම අනාගතය සැලසුම් කරගැනීමේ ඕනෑකම සුවිශේෂව ඇති කරගනිමින් කොට්ටාවේ ප්‍රධාන විද්‍යාලයක් බවට පරිවර්තනය වීමට කොට්ටාව ආනන්ද විද්‍යාලය අවශ්‍ය ශක්තිය ලබාගන්නට ඕනේ. ඒ ආකාරයෙන් තමයි අපිට දියුණුවට පිවිසෙන්නට පුළුවන් වෙන්නේ. පාසල්වල සංකීර්ණව තිබෙන අධ්‍යාපන දැනුම වැඩිදියුණු කර ගැනීමට තිබෙන ක්ෂේත්‍රයන් අතරේ සම්පත් අඩු බව එක් වැදගත් ක්ෂේත්‍රයක්.

සම්පත් සඳහා ආයෝජනය කළ හැකි ප්‍රමාණය බලාපොරොත්තු වන ඉලක්කයන් වලට වඩා අඩුයි. ඒ නිසා අසමාන ලෙස රට පුරා අධ්‍යාපනය වැඩෙනවා. බලාපොරොත්තු සහගත ඉලක්කවලට පිවිසෙන්නට පරම්පරාවකට අවස්ථාව ඇතිවීම හරහා යාම නිසා තරඟය වැඩිවී තිබෙනවා. තරඟය වැඩිවීම හොඳ වගේම ගැඹුරු දැනුමකට අපේ දරුවන් පරිවර්තනය කරගැනීමේ ඕනෑකමට ගමන් කරන්නට ඕනෑ.  

විදේශ රටවලින් ලැබෙන ආධාර, තාක්ෂණික දැනුම, විවිධාකාර පුහුණු පාඨමාලා උපයෝගී කරගත් ගුරු පරම්පරාවක් මෙලෙස ඉදිරියට  සකස් කිරීමේ ඕනෑකමට මුළු ආණ්ඩුවම කැපවී සිටිනවා. මේ හැම දරුවෙක්ම රටේ අනාගතයේ භාරදූර වගකීම් ගන්න පුළුවන් දරුවෝ බවට පත්විය යුතුයි. අපේ දූ පුතුන් දෙගොල්ලොම අද සමාජයේ හැම අවස්ථාවකටම පිවිසී වගකීම් භාර ගත හැකි ලෙස තම දැනුම පරිත්‍යාග කරමින් සිටිනවා.

පවතින පාසල් සංඛ්‍යාව හොඳින් ගොඩ නැගෙනවා. හොඳින් මෙහෙය වෙනවා. නමුත් අවසාන පන්ති කාමරය දක්වා ඒ හා සමානව අපේ දරුවන් සම්පත් වලින් යුතුව ගමන් කරවීමේ ඕනෑකමට අපේ අධ්‍යාපනය ක්‍රමයේ වැය ශීර්ෂයන් සකස් විය යුතුයි. අපේ දරුවන්ට ලබා දිය හැකි උතුම්ම දායාදය වූ අධ්‍යාපනය අඛණ්ඩව ඇති කරගෙන යාමට පුළුවන්කම හා දෙමාපියන් හැටියටත්, පාසලක් හැටියටත් ඒ සන්තෘෂ්ටිය ඇතිකර ගැනීමට හැකිවන්නේ එසේ වුවහොත් පමණයි.