Friday, June 28, 2024
Follow Us
මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි -ජනපති

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමඟම රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 55ක වියදමින් කරදියනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද රටකජු සැකසුම් මධ්‍යස්ථානය අද (23) පෙරවරුවේ විවෘත කරමිනි.

මෙම අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයාව දමිල චාරිත්‍රාණුකූලව පිළිගනු ලැබිණි.

පීත්ත පටිය කපා රටකජු සැකසුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි කටයුතු ද නිරීක්ෂණය කළේය.

අනතුරුව පැවති උත්සව සභාවේ දී කෘෂි සංවිධාන සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මයිලම්පාවලි චෙන්කලඩි ප්‍රදේශයේ පිහිටි දෙලුම් ගොවිපොළේ ද අද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම දෙළුම් වගාව අක්කර 150ක පමණ භූමි භාගයක පවත්වාගෙන යනු ලබන අතර, 300ක පමණ ගොවි ජනතාවක් එහි ප්‍රතිලාභ ලබති. පසුගිය වසරේ අක්කර භාගයක දෙළුම් වගාවෙන් රුපියල් ලක්ෂ 36ක් පමණ වටිනා අස්වැන්නක් ලබා ගැනීමට මෙම ගොවි ජනතාවට හැකිව තිබේ.

රටකජු සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේ දි අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මෙම වැඩසටහන කෘෂි නවීකරණ වැඩසටහනේ කොටසක් ලෙස හැඳින්විය හැකියි. අපේ රටේ වගා නොකළ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ සියලු ඉඩම් වගාව සඳහා යොදාගත යුතුයි. අපේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතුයි. මෙරට ආහාර අවශ්‍යතාව පමණක් නොව අනෙක් රටවල ආහාර අවශ්‍යතාවය සඳහා ද කෘෂි බෝග අපනයනයට අප සුදානම් විය යුතුයි. ඒ තුළින් අපට ඉහළ විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. එවිට අපට නැවත විදේශ ණය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. මම මේ රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීම සඳහායි. අලුත් ආර්ථිකයක් ඇතිවන විට රටේ ගොවි ජනතාවට ද හොඳ ආදායමක් ලැබෙනවා.

අද මෙම කර්මාන්තශාලාව විවෘත කළා වගේම නවීන තාක්ෂණය සමඟ තමන්ගේ වගා කටයුතු සිදු කිරීමට කෘෂි සංවිධානවලට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබා දීමද සිදු කෙරුණා. ඉන්දීයාවේ ගොවින් මෙම වගා කටයුතු මෙහෙයවන්නේ තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථනය මඟින්.

රජයේ ඉඩම්වල ගොවිතැන් කරන අයට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. ඊයේ දින එම වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වුණා. ඒ අනුව ඔබට ඉඩම් අයිතිය හිමිව තිබෙනවා. එහි ආඩම්බරය ඔබට දැනිය යුතුයි. ඒ වගේම අප දීප ව්‍යාප්ත කෘෂි නවීකරණ වැඩසටහනක් ආරම්භ කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයත්, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශත් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන සියල්ලම ලබන වසර වන විට කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අයුරින් ක්‍රමානුකූලව මේ රටේ ගොවි ජනතාවගේ ආදායම ඉහළ නැංවීම තුළින් ග්‍රාමිය ප්‍රදේශ දියුණු වෙනවා.

ඒ වෙනුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ද විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර මහවැලි ඒ සහ බී කලාප ඇතුළු ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම දියුණු වෙනවා.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්. වියාලේන්ද්‍රන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.