Friday, July 04, 2025
Follow Us
ඊයේ කොළඹ ප්‍රදේශ 4කින් හමුවූ රෝගීන්ට වෛරසය ආසාදනය වූ හැටි තවම සොයාගෙන නෑ - හමුදාපති

ඊයේ දිනයේදී (05) කොළඹ ප්‍රදේශ 4කින් එනම්, ජාතික රෝහල, රාජගිරිය, කොලොන්නාව, මෝදර යන ප්‍රදේශවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ට එම වෛරසය සම්ප්‍රේෂණය වූයේ කෙසේදැයි තවමත් සොයාගෙන නොමැති බවත් තවදුරටත් ඒ පිළිබඳ පරීක්ෂණ කෙරෙමින් පවතින බවත් හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

"කොවිඩ් 19 ශ්‍රී ලංකාවට පැමිණිය දා පටන් අපි ඉතාමත්ම කෙටි කාලයකින් කවුද මේ, කොහෙන්ද මේක ආසාදනය වුණේ කියන එක හොයාගැනීමට හැකියාව ලැබුණා. නමුත් ඊයේ දිනයේදී මේ ආකාරයෙන් අපි ඔවුන් ඇසුරු කළ අයවලුන් 71 දෙනෙකු නිරෝධායනයට ලක් කරනු ලැබුවා. ඒවගේම මහනුවර ප්‍රදේශයෙන් පෙරේදා හමුවුණු 64 දෙනෙක් නිරෝධායනයට ලක් කරනු ලැබුවා.

නමුත් ඔවුන්ට කොතනින්ද මේ රෝගය ආවේ කියන එක සොයාගෙන යාමේදී ප්‍රථම වතාවට අපට යම්කිසි ගැටළුවක් තිබෙනවා. ඒක හින්දා අපි අද දිනයේදීත් මේ සබැඳිව සොයා බලනවා. ඇත්තටම කාගෙන්ද මේක ආවෙ කියන එක ඊයේ මධ්‍යම රාත්‍රිය වනතෙක් සොයාගන්න බැරිවුණා. අද දිනයේදී අනිවාර්යයෙන්ම අපට ඒක කියන්න පුළුවන් වෙයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

(LNW)