Friday, November 13, 2026
Follow Us
රුපියල් බිලියන 1.5කට අධික අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් බිලියන 1.5කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 101කට අධික තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් පස්දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

අද (13) උදෑසන ගාල්ල වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂා කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 58යි ග්‍රෑම් 736ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 43යි ග්‍රෑම් 134ක් හඳුනාගෙන ඇත. ඒවා පාර්සල් 102ක අසුරා තිබී ඇත.

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාල අඩපණ කිරීම සඳහා නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඒකාබද්ධව ගොඩබිම් හා මුහුදු කලාප ආවරණය වන පරිදි මෙහෙයුම් තීව්‍ර කර ඇති බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා නව නීති සහ තාක්ෂණික පහසුකම් හඳුන්වා දෙමින් නාවික හමුදාවේ නිරීක්ෂණ හැකියාව පුළුල් කර ඇති බවත් නීති විරෝධී ජාවාරම්වලට සම්බන්ධ කිසිවකුට නීතියෙන් ගැලවීමට ඉඩක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු 1818 හෝ 1997 යන ක්ෂණික දුරකථන අංක ඔස්සේ ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

2025 ඔක්තෝබර් මාසයේ සිට ‘රටම එකට’ මෙහෙයුම යටතේ නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සිදු කළ මෙහෙයුම්වලින් රුපියල් බිලියන 115කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් රුපියල් බිලියන 74කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය 2026 වසරේ මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.