Saturday, July 05, 2025
Follow Us
ගෑස් මිල රු.325කින් පහත දැමිය හැකියි-ජාතික සේවක සංගමය කියයි

බොර තෙල් මිලට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LP Gas) මිලද සීග්‍රයෙන් පහත වැටී ඇති බැවින් මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 325කින් පහත දැමිය හැකි බව ජාතික සේවක සංගමයේ උප සභාපති ආනන්ද පාලිත සඳහන් කරයි.

ඔහු පවසන්නේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටීම පිළිබඳව පමණක් ජනතා අවධානය යොමුව පැවැතියද ඊට සාපේක්ෂව මිල පහත වැටී ඇති එල්.පී. ගෑස් මිල හේතුවෙන් මෙරට ජනතාවට ලැබිය යුතු විශාල සහනයක් රජය විසින් අහිමි කර ඇති බවයි.

‘අද වෙනකොට ලෝක වෙළෙඳපොළේ එල්.පී. ගෑස් මිල සියයට තිහකින් පහත වැටී තිබෙනවා. ජනමාධ්‍ය ඔස්සේ බොර තෙල් මිල පහත වැටීම පිළිබඳව පමණක් අවධානය යොමු කළාට ගෑස් මිල සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව පෙන්වා දිය යුතුයි.

මේ මිල පහත වැටීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මීල සියයට විසිදෙකකින් පහත දාන්න රජයට පුළුවන්. ඒ නිසා අපි රජයට අවධාරණය කරනවා.

පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල පහත දමන අතරම ගෘහස්ථ ගෑස් මිල පහත දමලා ජනතාවට සහනයක් ලබාදෙන්න කියලා.’

මේ වන විට ලිට්‍රෝ ගෑස් සංගමය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 1493ක මුදලකටය.

(Aruna)