මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් කිහිපදෙනකු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද (10 වැනිදා) හෝ හෙට (11 වැනිදා) දිනයේදී අධිකරණයට භාරවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
රහස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සැකකරුවන් සොයා විශේෂ මෙහෙයුම් කිහිපයක් දියත් කළද, රවි කරුණානායක ඇතුළු සැකකරුවන් නවදෙනකු මේ වන විට දින තුනක් පුරා පොලිස් ඇස්වලට වැලි ගසමින් නිවෙස්වලින් බැහැරව සැඟව සිටිති.
බැඳුම්කර වංචා නඩුවේ දෙවැනි සැකකරු වන රවි කරුණානායක සහ හතර වැනි සැකකරු වන අර්ජුන් අලෝසියස් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියේ නිලධාරීන් තෙවැනි දිනටත් ඊයේ (09 වැනිදා) ඔවුන්ගේ නිවෙස්වලට ගියද, එම අවස්ථාවන්වලදී සැකකරුවන් නිවෙස්වල නොසිටි හෙයින් පොලිස් නිලධාරීන් හිස් අතින් යළි පැමිණ තිබේ. මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව රවි කරුණානායක, අර්ජුන් ඇලෝසියස් ඇතුළු දස දෙනකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක ඉකුත් 06 වැනිදා පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය.
(Lanka Leads)