Thursday, May 15, 2025
Follow Us
රවී ඇතුළු 09ක් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මීට ටික වෙලාවකට පෙර වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ඒ 2016 වර්ෂයේ සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්.

නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ චෝදනා වලට ලක්ව සිටි 10 වන සැකකරු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරි බුද්ධික සරච්චන්ද්‍රට එරෙහිව මෙහිදී අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවේ නැහැ.ඒ ඔහුට එරෙහිව නඩුව පවත්වාගෙන යාමට තරම් අවශ්‍ය සාක්ෂි නොමැතිවීම හේතුවෙන්.

ඒ අනුව මෙම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර තිබු පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමට සිතාසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් ,රංජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, ගාර්දියේ පුංචිහේවා, එස්. පදුමනාපන් සහ ඉංදික සමන් කුමාර යන අයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

මෙම නඩුව අද උදෑසන අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියට ප්‍රශ්නාවලියක්‌ යොමු කර සිටියා.

මෙම සැකකරුවන්ට එරෙහිව වරෙන්තු නිකුත් කිරිමට පෙර අත්‍යාවශ්‍ය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නිරාකරණය කර ගැනීමට අවශ්‍ය බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියි නීතිඥවරියට නියෝග කළේ සැකකරුවන් අතුරින් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරි බුද්ධික සරච්චන්ද්‍රට සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් 03දෙනෙකුට මෙම සිද්ධියට අදාළව වරෙන්තු නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබේද යන්න පිළිබඳව කරුණු වාර්තා කරන ලෙසයි.

මෙම අපරාධයට ඔවුන්ගේ සෘජු දායකත්වය පැහැදිලි කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.

එමෙන්ම බැඳුම්කර වෙන්දේසියේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව සහ සේවක අර්ථ සාධක අරමුදල යන ආයතන, කොපමණ මුදලක් වැය කර, කොපමණ කොටස් මිලදී ගත්තේදැයි නිශ්චිතව තම අධිකරණයට පැහැදිලි කරගත යුතු බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු අධිකරණයෙන් ලබා ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයට නියෝග කරනු ලැබුවේ මීට දින කිහිපයකට පෙරයි .

මෙම සැකකරුවන්ට එරෙහිව 2016 මාර්තු මාසයේදී 29 වෙනි දින සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපලක් වූ රුපියල් බිලියන 36.98 ක මුහුණත වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැදුම්කර සාවද්‍ය පරිහරණය කිරීම, කුමන්ත්‍රණය, වංචා කිරීම, වෙළෙඳපොල හැසිරවීම ආදී චෝදනා නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණා.

(Neth)