Saturday, May 18, 2024
Follow Us
ලැබුණු සහන නිසා ත්‍රීරෝද රථ ගාස්තු අඩු කෙරේ

බදු සහනවල ප‍්‍රතිලාභ පාරිභෝගිකයාට ලබාදීමේ අදහසින් තී‍්‍රරෝද රථ ගාස්තු වහාම අඩු කරන බව තී‍්‍රරෝද රථ හිමියන් සහ වෘත්තිකයන් පවසනවා.

සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන සඳහන් කළේ "පළමු කිලෝමීටරයට රුපියල් 10කින් සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් 05කින් ගාස්තු අඩු කිරීමට තීරණය කළා. ඒකට හේතුව ත්‍රීරෝද රථවලට බලපෑ දුම් සහතික බද්ද අඩු කිරීම, කාබන් බද්ද ඉවත් කිරීම, බදු ඉවත් කිරීම හරහා අමතර කොටස් මිල පහළ බැසීම වගේ කරුණු. අපි මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ රුපියල් 50ත් 40ත් අතර ත්‍රීරෝද රථ සේවාව ලබා ගන්නා ලෙසයි. වැඩි ගණනකට සේවාව ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ලෙසත් දන්වා සිටිනවා." යනුවෙනි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා තී‍්‍රරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයෙන්ද විමසීමක් කළා. එහි සභාපති සුදිල් ජයරුක් පැවසුවේ තී‍්‍රරෝද රථ ගාස්තු සඳහා මිල සූත‍්‍රයක් සකස් කරවා ගැනීමටද ඉදිරියේදී උත්සාහ කරන බවයි.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුව ශී‍්‍ර ලංකාවේ ලියාපදිංචි තී‍්‍රරෝද රථ සංඛ්‍යාව ලක්‍ෂ 12 කට ආසන්නයි. තී‍්‍රරෝද රථ ලක්‍ෂ 10 ක් පමණ මගී ප‍්‍රවාහනයේ යෙදෙන බව ඇස්තමේන්තු කර තිබෙනවා.

(Neth)