Saturday, May 18, 2024
Follow Us
ජනපති ගෝඨාභය දුන් සියලුම බදු සහන අද සිට ක්‍රියාත්මකයි ! - කැබිනට් ප්‍රකාශක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ජනතාව වෙත ලබාදුන් සියලු බදු සහන අද (01) සිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

"ජනවාරි 01 වනදා සිට අර සියලූම, කලින් ප්‍රකාශයට පත් කරපු බදු සහන, බදු අහෝසි වීම් සියල්ලම ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් වශයෙන් උපයනවිට ගෙවීමේ බදු නෑ. රැඳවුම් බදු නෑ. වැට් බදු 8%යි. අනිත් සියලුම සඳහන් කරපු බදු ප්‍රතිසංස්කරණ, බදු සහන යෝජනා මේ පළවෙනිදා සිට දිගටම ක්‍රියාත්මක වෙනවා." යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ඊයේ (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙතෙක් මසකට රුපියල් ලක්ෂයක් ආදායම් ලබන පුද්ගලයින් ගෙවිය යුතුව තිබුණු උපයනවිට ගෙවීමේ බද්ද අහෝසි වන අතර මසකට රුපියල් 250,000ට වැඩි ආදායම් උපයන අය බදු ගෙවීමට යටත් වේ.

එසේම මෙතෙක් ඉතුරුම් ගිණුම්වල පොළිය මත අය කළ 5%ක රඳවා ගැනීමේ බද්ද අහෝසි වේ.

එමෙන්ම ව්‍යාපාරවලින් වැට් බදු අය කිරීමේ සීමාව ද කාර්තුවකට රුපියල් මිලියන 75ක මුදල් සැපයුමක් දක්වා ඉහළ දමා තිබේ. ඒ අනුව කාර්තුවකට රුපියල් මිලියන 75ට අඩු මුදල් සැපයුමක් සහිත ව්‍යාපාරිකයින්ගෙන් වැට් බදු අය කිරීම ද නතර කෙරෙන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ.

(LNW)