Friday, May 03, 2024
Follow Us
වැසි සහ ආපදා හේතුවෙන් දිස්ති‍්‍රක්ක 12ක 7000කට පීඩා - 3800ක් අවතැන්

දිස්ති‍්‍රක්ක නවයක වැව් හා ජලාශ 29ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම, අනුරාධපුර, කුරුණෑගල, හම්බන්තොට, අම්පාර, ති‍්‍රකුණාමලය, මඩකළපුව, මාතලේ සහ පොලොන්නරුව යන දිස්ති‍්‍රක්කවල වැව් සහ ජලාශ ගනණාවක් එළෙස වාන් දමන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මී ඔයේ පිහිටි ජලාශවල වාන් දොරටු විවෘත කිරීම තවදුරටත් වැඩි විය හැකි බැවින් තබ්බෝව ජලාශයට පහළ කොටසේ ගංවතුර අවදානම් කලාපයේ පදිංචි ජනතාවට එම ප‍්‍රදේශවලින් ඉවත්වන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබෙනවා.

ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු හතරක් ඊයේ රාතී‍්‍රය වන විට නැවත විවෘත කර මී ඔයට තප්පරයට ඝන අඩි 13,200ක ජල ප‍්‍රමාණයක් මුදා හැරුණා. තබ්බෝව ජලාශයේ වාන් දොරටු 08ක් ඊයේ රාතී‍්‍රය වන විටත් විවෘත කර තැබුණා. ඒවායින් තප්පරයට ඝන අඩි 36,000ක ජල ප‍්‍රමාණයක් මී ඔයට මුදා හැරුණු බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර මහවැලි ගඟේ මනම්පිටිය ජල මිනුුම් ස්ථානයේ ජල මට්ටම මහ ගංවතුර මට්ටමක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඊයේ මධ්‍යම රාතී‍්‍ර 12වන විට එම ජල මාපාංකයේ ජල මට්ටම මීටර් 4.14ක් ලෙස ඉහල ගොස් තිබුණා. එම ජල මාපාංකයේ මහ ගංවතුර මට්ටම ලෙස දැක්වෙන්නේ මීටර් 4ක්.

මී ඔයේ ගල්ගමුව ජල මිනුම් ස්ථානයේද ජල මට්ටමද සුළු ගංවතුර මට්ටමක් දක්වා වැඩි වෙමින් පැවතුණා. එම ජලමාපංකයේ ජල මට්ටම ඊයේ මධ්‍යම රාතී‍්‍ර 12වන විට මීටර් 6.66ක් ලෙස පැවති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

හැඩ ඔයේ ජල මට්ටම සියඹලාණ්ඩුව ප‍්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමක් දක්වා ඉහල ගොස් තිබුණා. කෙසේ වෙතත් එම ස්ථානයේ ජල මට්ටම ඊයේ මධ්‍යම රාතී‍්‍ර 12වන විට තරමක් දුරට අඩු වී තිබුණු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පවතින වැසි සහ ආපදා හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ දිස්ති‍්‍රක්ක 12ක පුද්ගලයින් 7000ක් පමණ පවතින වැසි සහ ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවයි.

මාර්ග කිහිපයක රථවාහන ධාවනයටද බාධා එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)