Friday, March 29, 2024
Follow Us
කඩු අහුවුණේ සාම්ප්‍රදායික මුස්ලිම් පල්ලිවලින්

අබ්දුල් රාසික් රෆික්ඩීන් සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ මහ ලේකම්වරයායි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රබල හඬක් මතු වී තිබේ. එවන් මොහොතක තම සංවිධානයේ අභ්‍යන්තරය පිළිබඳ රාසික් ‘අරුණ’ට කළ හෙළිදරව්වයි මේ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සංවිධානයක් ලෙස රටේ බොහෝ ජනතාව හඳුනන්නේ ජමෙයිතුල් උලමා සංවිධානය ගැනයි. එහෙම තිබියදී ‘ශ්‍රී ලංකා තවුහිද් ජමාත්’ වගේ වෙනම සංවිධාන ගොඩනැගෙන්නේ ඇයි?
අපේ තවුහිද් සංවිධානය ‘සිලෝන් තවුහිද් ජමාත්’ සංවිධානයයි. ‘ශ්‍රී ලංකා’ කියන වචනය අපේ සංවිධානයේ නැහැ. ‘ශ්‍රී ලංකා තවුහිද් ජමාත්’ එක වෙනම සංවිධානයක්. එය තිබෙන්නේ මාලිගාවත්තේ.

තවුහිද් ජමාත් සංවිධාන කීයක් පමණ තිබෙනවාද?

දහයක්, පහළොවක් වගේ තිබෙනවා. ඒ වගේම දැනට අවුරුදු පනහකට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකාවේ තවුහිද් ජමාත් සංවිධාන ක්‍රියාත්මක වෙනවා. මුල්ම ‘තව්හිද්’ සංවිධානයක් ශ්‍රී ලංකාවේ බිහිවුණේ 1947 වර්ෂයේ. ‘ඒ ජමාතුල් අන්සාර් සුන්නතුල් මොහොමදියා’ සංවිධානය. එය බිහි කළේ ධර්මේන් හජ්ජියාර් මවුලවිතුමායි.

ඒකෙ ‘තව්හිද්’ කෑල්ලක් නෑනේ?

නම නොවේ වැදගත්. ප්‍රතිපත්තියයි වැදගත්.

‘තවුහිද් ජමාත්’ යන්නෙහි විශේෂත්වය කුමක්ද?

ඉස්ලාම් ආගමේ මූලාශ්‍රවල තිබෙන නිවැරැදි පණිවුඩය අපේ මුස්ලිම් ජනතාව අවබෝධ කරගෙන නැහැ. එයට හේතුව අරාබි භාෂාවෙන් තිබුණු මුද්‍රණයන්ගේ නිවැරදි පරිවර්තන ජනගත නොවීමයි.

මේ හේතුවෙන් ඉස්ලාම් ධර්මයේ මූලික ප්‍රතිපත්තිවලට පටහැනි විශ්වාස, ඇදහිලි, ලබ්ධීන් ඉස්ලාම් ආගමට ආවා.

උදාහරණයක් ලෙස අපි නමැදුම් කරන්න ඕනේ එකම දෙවියන්ටයි. ඒ අල්ලා දෙවියන්ට. නමුත් මුස්ලිම් සමාජයේ විවිධ ශාස්තෘවරුන් නමස්කාර කරනවා. සොහොන් කොත් වන්දනාමාන කරනවා. ඒ වගේම ජ්‍යොතිෂය, සාස්තර බැලීම, පොරොන්දම් බැලීම, නිමිති ඇල්ලීම, ඇස්වහ කටවහ මැතිරීම සහ විවිධ ගුරුකම් වගේ මිථ්‍යා දෘෂ්ටික ඇදහිලි අද මුස්ලිම් සමාජයේ තිබෙනවා. නමුත් ඉස්ලාම් ආගම එවැනි විශ්වාස මත පදනම් වී නැහැ. දවටගහ පල්ලිය එවැනි මිථ්‍යාදෘෂ්ටික ඇදහිලි පවත්වන තැනකට උදාහරණයක්.

එම නිසා මුස්ලිම් ජනතාවට නිවැරදි ඉස්ලාම් දහම කියලා දෙන්න ‘තවුහිද්’ සංවිධාන බිහි වුණා. ‘තව්හිද්’ කියන්නේ එ්ක දේව සංකල්පයයි. නබිනායකතුමාගේ කාලේ ඉඳන් පැමිණෙන ආගම තමයි ‘තවුහිද්’

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුස්ලිම් පල්ලි 1600 ක් පමණ තිබෙනවා. මේවායේ උගන්වන්නේ ඉස්ලාම් දහම නොවේද?

හැම ආගමකම නිකාය භේද තියෙනවා. කුරාණයේ පාඨයන්ට විවිධ අර්ථකථන ලබාදෙන පිරිස් ඉන්නවා. එම අර්ථකථනයන්ට අනුව නිකාය බෙදීම ඇතිවෙනවා.

ඔබ මුලින්ම ඇහුවා ‘ජමෙයිතුල් උලමා සංවිධානය ගැන. ඒ අය එක්ක එකට වැඩකරන්න බැරි හේතුවක් අපට තිබෙනවා. ඔවුන් කියනවා ‘නිකාබ්’ අනිවාර්යයයි කියලා.

ඒ කියන්නේ මුහුණ සම්පූර්ණයෙන්ම කළු ආවරණය කළ යුතුයි කියලා. අත්වලට ග්ලවුස් දාලා, පාද වහලා, සම්පූර්ණ ආවරණය කිරීමයි ඔවුන් අනුමත කරන්නේ. දැන් අද රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන්නේ මේකනේ.

අපි කියන්නේ මුහුණු ආවරණය තහනම් කියලයි.

ඒකට හේතුවක් තිබෙනවද?

කුරාණයේ 33 වැනි පරිච්ඡේදයේ 59 වැනි වැකියේ තිබෙනවා කාන්තාවන් තමන් කවුරුන්ද යන්න හැඳිනිය හැකි පරිදි වස්ත්‍ර පැලඳිය යුතුයි කියා. ඒක කුරාණයේ තිබෙන ප්‍රධානතම පණිවුඩයක්.

මේ අපි එළිදක්වපු කුරාණ පරිවර්තනයේ. පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා ‘කාන්තාවන් මුහුණ ආවරණය කර ගැනීම හරි මගක් නොවේ’ කියා. මමයි ශුද්ධ වූ කුරාණයෙන් මෙය පරිවර්තනය කළේ.

ඔබගේ සංවිධානයට ‘මූලධර්මවාදීන්’ බවට චෝදනා නැගෙනවා?

මූලධර්මවාදීන් කියා හංවඩු ගහන එක වැරදියි. ආගමේ මූලාශ්‍ර පදනම් කරගෙන සාක්ෂි සහිතව ඉදිරිපත් කොට ආගම අනුගමනය කිරීම මූලධර්මවාදය නෙවෙයිනේ.
දැන් බෞද්ධ ජනතාව බුද්ධ භාෂිතයට අනුව ජීවත් වෙන්න ඕනෑ. සෝම හාමුදුරුවෝ අපිට කියලා දුන්නේ එහෙමයිනේ. උන්වහන්සේගේ දේශනා අපි පොඩි කාලේ ඇහුවා. ‘බුද්ධාගම තුළට හින්දු ආගමේ ලබ්ධි, විශ්වාස ඇතුළත් වෙන්න බැහැ.’’ එහෙමයි සෝම හාමුදුරුවෝ කිව්වේ.

මෙම සංවිධානය පිහිටෙව්වේ මොන කාලෙද?

2005 වර්ෂයේ මාර්තු මස 24 වැනිදා ‘ශ්‍රී ලංකා තවුහිද් ජමාත්’ කියලයි අපි පිහිටෙව්වේ.

ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සහ සිලෝන් තවුහිද් ජමාත් අතර ආගමික ඉගැන්වීමේ වෙනස මොකක්ද?

එකම ප්‍රතිපත්ති තමයි. ඒත් කළමනාකරණයේ ගැටලුවක් තිබුණා.

මුදල් කළමනාකරණයේ ?

නැහැ. පරිපාලන කමිටුවලට නුසුදුසු අය පත් කිරීමේ ගැටලුවක්.

එකට හිටිය මිත්‍රයෝ නේද මේ?

එකම කණ්ඩායම තමයි, දැන් ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ සභාපති ඉෂාම් අබ්දූල් ගෆූර්. සිලෝන් තවුහිද් සංවිධානයේ ප්‍රධාන ලේකම් මම. ඔය හෙළ උරුමය, පිවිතුරු හෙළ උරුමය වගේ.

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෝ කීයක් විතර හිටියද?

දහසක් පමණ හිටියා. අපේ සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය ආරම්භ කළේ 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 23 වැනිදායි. ඒකේ සාමාජිකයෝ දෙසිය ගාණක් ඉන්නවා.

ඔබ ළඟ තිබුණු ‘කුරාණ‘ පරිවර්තනය ඔබ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ඉන්න කාලේ මුද්‍රණය වූවක්?

ඔව්.

ඔය පොත මුද්‍රණයට මුදල් ලැබුණේ කොහෙන්ද?

කිසිම අවස්ථාවක විදේශ රාජ්‍යයකින් හෝ රාජ්‍ය නොවන සංවිධානයකින් කිසිදු අරමුදලක්, පරිත්‍යාගයක් ලබා නොගැනීම අපේ සංවිධානයේ විශේෂත්වයක්.

මුද්‍රණයට කොපමණ මුදලක් වැය වුණාද?

ලක්ෂ 40 ක් පමණ වියදම් වුණා.

සල්ලි දුන්නේ රටේ ප්‍රබල දේශපාලන පක්ෂයක නියෝජිතයෙක්?

එවැනි චෝදනාවකට අභියෝග කරන්න මා සූදානම්. මේ පොත පිළිබඳ කිසිවකු එවැනි චෝදනාවක් කර නැහැ. එහෙම චෝදනා කරනවා නම් යමෙක් සාක්ෂි ඇතිව ඔප්පු කරන්න ඕනේ. අපි දේශපාලන පක්ෂ සමග කිසිදු ගනුදෙනුවක් නැහැ.

ගෝඨාභය රාජපක්ෂගෙන් මුදල් ලැබුණා?

සියයට සියයක් වගකීමෙන් කියනවා එවැනි සිදුවීමක් වුණේ නැහැ. එවැනි එක සිදුවීමක් හෝ ඔප්පු කළොත් මම මේ සංවිධානය විසුරුවා හරිනවා. පුළුවන් නම් ශත පහක් හරි ගත්ත කියලා ඔප්පු කරන්න.

අරමුදල් සම්බන්ධයෙන් අපි ඉතාම විනිවිදභාවයෙන් කටයුතු කරනවා. මම උපාධිය කළේ කැලණිය විශ්ව විද්‍යාලයේ. එය වාණිජවේදී උපාධියක්. රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය ආරක්ෂා කළ යුතු හැටි මම දන්නවා.

ඔය කියන විදිහට ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෝ හිටියේ දහසක් පමණ. එවැනි පිරිසක් කොහොමද රුපියල් ලක්ෂ හතළිහක් විතර වියදම් කළේ. පොතක් මුද්‍රණය කරන්න?

සාමාජිකයෝ එපමණ වුණාට ආධාර උපකාර කරන අය ඕනතරම් ඉන්නවා. මේකේ ගණන් හිලව් දැන් තිබෙන්නේ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය ළඟ.

ඒ ගොල්ලන්ට විදේශයන්ගෙන් මුදල් ලැබුණෙම නැහැ.

අද ඒගොල්ලෝ කියන්නේ එදා අපිනේ. අපි විදේශ මුදල් ගත්තෙම නැහැ.

2005 ‘ශ්‍රී ලංකා තවුහිද් ජමාත්’ පිහිටුවූවාට පසු විදේශිකයන් ගෙන්වා දේශන පැවැත්වීමට කටයුතු කළා?

තමිල්නාඩු තවුහිද් ජමාත් සංවිධානය කියන්නේ ඉන්දියාවේ තමිල්නාඩුවේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන සංවිධානයක්. රහස් සංවිධානයක් නොවේ. එම සංවිධානයේ පී. ජේහුල් ආබ්දීන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා දේශන තිබ්බා. ඔහු අග්‍රගණ්‍ය ආගමික විද්වතෙක්.

මේ අය ශ්‍රී ලංකාවට ආවේ ආගමික කටයුතු අමාත්‍යාංශයට දැනුම් දීලා. මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයට දැනුම් දීලා, වීසා ලබාගෙන, නීත්‍යනුකූල ආකාරයටයි.

ඔබ ඔය ගෙන්නපු ආබ්දීන් නමැති තවුහිද් නායකයා තමිල්නාඩුවේදී බෞද්ධ භික්ෂූන්ට පහරදුන් බවට චෝදනා එල්ල වුණා?

නැහැ. වැරදි පුවත්. ඒක මාධ්‍යවල දාපු තවත් විකෘතියක්. ඉන්දියාවෙම පුවත්පත්වල පළවුණා ඒ ප්‍රහාරය කළේ නාම් තමිරල් කච්චි කියන කොටින්ට සහාය පළකරන පක්ෂයක් කියා. ඉන්දියාවේ එහෙම කියනකොට ලංකාවේ විජයදාස රාජපක්ෂ කිව්වා තමිල්නාඩු තවුහිද් ජමාත්ලා ගැහුවයි කියලා. බුද්ධිමතුන් ඇයි මෙහෙම කටයුතු කරන්නේ. අපි පොඩි අය. අැයි ලොකු මහත්තුරුන්ට මේවා ගැන හොයන්න, බලන්න, බුද්ධියක් නැද්ද. එක එක වැරදි චෝදනා දාලා දාලා සමාජයෙන් කොන් කරලා ඉවත් කරන්න හදනවා. ඒත් සත්‍ය කවදා හෝ එළිවෙනවා.

දැන් ලෝකය හරිම විවෘතයි. හැම රටකම පාහේ කාන්තාවෝ විවිධ විලාසිතා කරනවා. රූපලාවණ්‍ය කරනවා. විවිධ සමාජ කටයුතුවල යෙදෙනවා. ඒත් මුස්ලිම් කාන්තාව වැහුණු මුලුගැන්වුණු කතක්?

ලෝකය දියුණුයි කියලා අපි අඩනිරුවත්භාවය අනුමත කරන්නේ නැහැ. කාන්තාවන්ගේ එම හැසිරීම ආගමික නීතිය අනුවයි සිදු වෙන්නේ. ඔවුන් විනයගරුකව, නීතිගරුකව සිටිය යුතුයි යන්නයි ආගමේ ඉගැන්වීම. ලෝකයේ දියුණු රටවල සමලිංගික විවාහයන් අනුමත කරනවා. දියුණුයි කියලා අපිටත් ඒක අනුමත කරන්න පුළුවන්ද?

ඔබ ආගමික නීතියක් ගැන කියනවා. රටේ පොදු නීතියකුත් තිබෙනවා. ඇයි පොදු නීතියට එකඟ වෙන්න බැරි?

පොදු නීතියට අපි සියලු දෙනාම යටත්. ඉස්ලාම් කියන්නේ ජීවන සැලැස්මක්. ඒ ජීවන සැලැස්මේ විවාහය, දික්කසාදය, දරුවන් හදාවඩා ගැනීම, දේපොළ උරුමය මේ සියල්ලක් පිළිබඳ නීතිරීති තිබෙනවා.

ඇයි ඉතින් රටේ පොදු නීතියට අනුවත් විවාහය දික්කසාදය කරන්න පුළුවන්නේ?

මේක ආගමික නීතියක්නේ. පල්ලි ගිහිල්ලා යාච්ඤා කරලා විතරක් එන්න කියලා නැහැ, අපට. විවාහය, දික්කසාදය, දරුවන් හැදීම ගැන අාගමෙන් කියලා දීලා තිබෙනවා. මුස්ලිම්වරුන් ලෙස අනිවාර්යයෙන්ම අප එය අනුගමනය කළ යුතුයි.

උඩරට නීතිය තිබෙනවා. තේසවලාමෙ නීතිය තිබෙනවා. මේ නීති දැන් ක්‍රියාත්මක වෙනවා අඩු වුණත් අපේ ආගම තමයි අපේ ජීවනාලිය. එය අනුගමනය කළ යුතුයි.

‘කාති’ උසාවි ඔබ පිළිගන්නවාද?

කාති උසාවිවල නොයෙකුත් වැරදි තිබෙනවා. කාතිවරුන්ගේ සුදුසුකම් පිළිබඳ අඩුපාඩු තිබෙනවා. ඒ නීති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අඩුපාඩු තිබෙනවා. නමුත් ‘කාති’ ක්‍රමය ඉස්ලාම්වල විශේෂ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තමයි පිහිටුවා තිබෙන්නේ.

කාතිවරුන්ට තිබෙන නීතිමය දැනුම ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

ඒවාට සංශෝධන ගෙන එන්න ඕන කියලා අපි කියනවා. නුසුදුසු කාතිවරුන් ඉන්න නිසා තමයි ප්‍රශ්න ඇතිවෙලා තිබෙන්නේ. ඒවට විභාග පවත්වන්න ඕන. වෘත්තීය සුදුසුකම් දෙන්න ඕන. ඒ අයට නීතිය සහ ආගම පිළිබඳ දැනුම තිබිය යුතුයි.

ඔබ පෙනී ඉන්නේ අල්ලා දෙවියන් වෙනුවෙන්. එවන් වූ දෙවියන්ට යමෙක් අපහාස කළොත්?

ඒක විශාල අගෞරවයක්. ඒ අගෞරවය කළේ චේතනාන්විතව නම් නීතියට අනුව දඬුවම් දිය යුතුයි.

ඔබගේ ශාස්තෘවරයාට එතරම් ගෞරව කරන ඔබ ඇයි බුදුන් වහන්සේ මිනීමස් කෑ බවට උන්වහන්සේට අගෞරව කළේ?

ඒක මගේ අත්වැරදීමකින් සිදු වූ ප්‍රකාශයක්. මම නැති දෙයක් කියන්න හිතාගෙන චේතනාන්විතව කළ දෙයක් නොවෙයි.

එදා වුණේ මේකයි. ඉස්ලාම් ආගමේ වගේම බුදුදහමෙත් නිකාය භේදයක් තිබෙන බව පෙන්වන්න මම කතා කළා. එහිදී උදාහරණයකට ගත්තේ මාංශ අනුභවය සහ නිර්මාංශ වීම පිළිබඳවයි.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි පොතක් ලියලා තිබුණා ‘නිර්මාංශ ප්‍රශ්නය කියා’ ඒ පොතේ සුප්‍රියා උපාසිකාව ගිලන් වූ භික්ෂුවකගේ රෝගී තත්ත්වය සුව කිරීමට තම කලවා මාංශය වැලඳීමට දීලා එම ගිලන් වූ භික්ෂුව සුව කරනවා.

මේක බුදුන් වහන්සේ දැනගෙන ඇවිල්ලා ඒ භික්ෂුවගෙන් අහනවා ඔබ වැලඳූ මස් වර්ගය මොකක්ද කියලා. එම භික්ෂුව වැලඳූ මස් වර්ගය දැනගෙන හිටියේ නැහැ. එවිට බුදුන් වහන්සේ දේශනා කරනවා ඔබ වැලඳුවේ මනුෂ්‍ය මස්. වැළඳීමට පෙර ඒ මාංශ ගැන විපරම් කළ යුතුයි. එවැනි මාංශ අනුභවයෙන් වළකින්න කියලා.

මේ උදාහරණය මම උපුටලා දක්වන කොට ඒ ගිලන් වූ භික්ෂුව වෙනුවට බුදුරජාණන් වහන්සේ කියලා පැටලවීමකින් නම වෙනස් වුණා.

හොඳයි අපි හිතමුකො පැටලුණා කියලා. ඔබ නැවත බුදුදහමේ ත්‍රිවිධ රත්නය ගැන විකෘති ප්‍රකාශයක් කරනවා. ත්‍රිවිධ රත්නය කියන්නේ මැණික් ගල් තුනක් කියලා?

අල්ලා දෙවියන් අදහන එක මිථ්‍යාදෘෂ්ටියක් කියලා ඒ කාලේ ප්‍රචාරයක් ගියා. එතකොට මම කිව්වා ‘දැන් ත්‍රිවිධ රත්නය ගැන තෙරුවන් සරණයි’ කියලා ඔබ ආමන්ත්‍රණය කරනවා. ඒ ත්‍රිවිධ රත්නය මැණික් ගල් තුනක්නේ කියලා. අපි ඇහුව නම් ඒක මිත්‍යා දෘෂ්ටිකත්වයක් නේද? ඒක ඔබ පිළිගන්නවද කියලා. එහෙම පිළිගන්නේ නැහැනේ. ඒ නිසා අපේ විශ්වාසයත් අපේ ඇදහිල්ලත් උපහාසයට ලක් කරන්න එපා කියලා කියපු කාරණාව තමයි විකෘති කරලා කපලා කොටලා මැණික් ගල් තුනක කතාවක් මම කිව්වයි කියලා ප්‍රචාරය වුණේ.

කුරාණයේ නිවැරදි දහම විකෘති කරනවට විරෝධය දක්වමින් සැබෑ ඉස්ලාම් දහම වෙනුවෙන් පෙනී සිටින බවයි ඔබ කියන්නේ. එවැනි කෙනෙක් සිංහල බෞද්ධයන් බහුතරයක් ඉන්න රටක මෙවැනි උදාහරණ අරගෙන අදහස් දක්වනකොට මීට වඩා පරිස්සම් විය යුතුයි නේද?

මේ කතාව කළේ 2013 වර්ෂයේ අප්‍රේල් මාසේ 6 වැනිදා. 2013 වර්ෂයේම මැයි මාසේ 14 වැනිදා මම මගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තා. සමාව ඉල්ලුවා. හිතා මතා නොකළ හින්දයි එහෙම කළේ.

එහෙම දෙයක් මාධ්‍යයේ ප්‍රසිද්ධ වුණේ නැහැනේ?

ඔව් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. වැරදුණු තැන දානවා. නිවැරදි කරගත් දෙය ප්‍රසිද්ධ කරන්නේ නැහැ. අන්න එතනයි අපිට තිබෙන ප්‍රශ්නය. බුදුන් වහන්සේ කිව්වේ වැරදි කරන අයට මෛත්‍රිය දක්වන්න කියලා. දේශකයන්ට අත්වැරදීම් වෙන්නේ නැද්ද? මේක සිංහල බෞද්ධ රටක් ලෙස අපි පිළිගන්නවා. මේක සිංහල බෞද්ධයන්ගේ රට.
මම ඔය කතාව කළේ 2013. ඒත් මට 2014 දී නඩුවක් වැටෙනවා එය පදනම් කරගෙන.

කව්ද නඩු දැම්මේ?

බොදුබල සේනා සංවිධානය. ඒ කුරාණයට අපහාස කළැයි කියලා බොදුබල සේනා සංවිධානයට නඩුවක් වැටෙනකොට බුදුදහමට අපහාස කළැයි කියලා මට විරුද්ධව නඩුවක් දැම්මා. මෙතන දේශපාලන වැඩපිළිවෙළක් තිබෙනවා කියා තේරෙන්නේ නැද්ද?

ඔබ මොන ප්‍රකාශ කළත් ඔබ තමයි සහරාන්ලව ගොඩනගපු ගුරුවරයා. ඒ චෝදනාවෙන් ඔබට මිදෙන්න බැහැ?

නැහැ. සහරාන්ලා සහ අපි අතර නිකාය ප්‍රශ්න තිබෙනවා. ඒ පිළිබඳ ඔබ දන්නවද? සහරාන් සමග කිසිදු අවස්ථාවක අප කටයුතු කර නැහැ.

ඉන්දියාවෙන් ආපු තවුහිද් දේශකයා නැගෙනහිර පැවැත් වූ දේශනවලට සහරාන් සම්බන්ධ වුණේ නැද්ද?

නැහැ. කිසිසේත්ම නැහැ. ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය මගින් ඉන්දියාවෙන් ගෙන්වපු දේශකයන්ට සහරාන්ලා සමග කටයුතු කරන්න බැහැ. අප අතර නිකාය ප්‍රශ්න තියෙනවා.

මොකක්ද ඒ නිකාය ප්‍රශ්නය?

සහරානුත් මුහුණු ආවරණය අනිවාර්යයයි කියනවා. ඊළඟට ඔහු කියනවා අපි උපවාසය කරන්න ඕන, සෞදි අරාබියේ සඳ පායන ක්‍රමයට කියලා. අපි ඉන්නේ ලංකාවේ සෞදි අරාබි වෙලාවට අපිට යාච්ඤා කරන්න බැහැ.

සහරාන් 2008 දී තමයි අරාබි පාසලෙන් ඉවත් වෙන්නේ. ඉන්පසු ඔහු ‘දුහරුල් අදුර්’ සංවිධානය පිහිටුවා ගත්තා. එ්කේ 2012 වෙනකම් ඔහු කටයුතු කළා. 2012 දී තමයි ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිහිටුවා ගත්තේ.

සහරාන්ව හමුවෙලා තිබෙනවද?

නැහැ.

බෝම්බ ප්‍රහාරවලින් දිවි නසාගත්ත කිසිවකු ඔබට හමුවෙලා නැද්ද?

අස්සුන් සහ සහරා (පුලස්තිනී) කියන දෙදෙනා අප සොයාගෙන ආවා. පුලස්තිනී (ද්‍රවිඩ තරුණිය) ඉස්ලාම් ආගම වැලඳ ගන්න කැමැතියි කියලා. ඒ සඳහා අපේ සහාය ඉල්ලුවා. ඇය 2015 අගෝස්තු මස 4 වැනිදා ඉස්ලාම් දහම වැලඳ ගත්තා, ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයට ඇවිල්ලා. එම 2015 අවුරුද්දේම දෙසැම්බර් මාසේ 31 වැනිදා ඇය ඉස්ලාම් ආගමෙන් ඉවත් වෙනවයි කියලා ලියුමක් දීලා ඉවත්වෙලා ගියා. ඒ සියලු ලිපි ලේඛන අපි ළඟ තිබෙනවා. ඊට පසු ඒ අය සමග අපේ සම්බන්ධයක් නැහැ.

එම තරුණිය විවාහ කරගත් අස්සුන් නමැත්තා ඔබ සංවිධානයේ සාමාජිකයෙක්ද?

නැහැ. අපේ සාමාජිකයෙක් නෙවෙයි.

එහෙනම් ඇයි මේ අහක යන එකකට ඔබ සංවිධානය සම්බන්ධ වුණේ?

ඉස්ලාම් දහම වැලඳගන්න ඕන කියලා නොයෙක් අය එනවා. ඒ එන අයට අපි බලෙන් එන්න කියන්නේ නැහැ. අස්සුන් සමග පැමිණි පසු ඒ බව පුලස්තිනීගේ මවට අපි දැනුම් දුන්නා.

ඒත් ඇයගේ මව කියනවානේ දුවව බලෙන් රැගෙන ගිය බව?

මවගේ ඊළඟ ප්‍රකාශය බැලුවේ නැද්ද? ඇය කියනවා අපි ආවා. ශ්‍රී ලංකා තවුහිද් ජමාත් එක්ක කතා කළා. මාලිගාවත්ත පොලිසියට ගියා කියලා. එහිදී ඇයගේ දියණිය ඉස්ලාම් වෙන්න ඕන බව කියූ බවත් මව කියනවා.

එහෙනම් ඇයි ඇයගේ මව දැන් කියන්නේ දුව බලෙන් අරගෙන ගියා කියලා?

ඒ අම්මාගේ මොළේ ප්‍රශ්නයක් වෙන්න ඇති. කොහොම හරි ඔය නව යුවළ කසාද බඳිනවා. 2015 වර්ෂයේ මරඳමුණේ ප්‍රදේශයට යනවා උසස් අධ්‍යාපනය ලබන්න. එහේ ගිහින් එක මාසයක් විතර දෙන්නා එකට ජීවත්වෙලා පසුව දෙන්නා අතර ප්‍රශ්නයක් වෙලා කල්මුණේ පොලිසියට පැමිණිලි කරනවා. අස්සුත් එක්ක ජීවත් වෙන්න බැහැ, මම මෙයාගෙන් දික්කසාදය ඉල්ලනවා කියා. ඇය ඉස්ලාමයෙනුත් ඉවත්වන බව පොලිසියට දැනුම් දෙනවා. ඊට පසු අපිටත් ලිපියක් එව්වා, ‘මම ඉස්ලාම් ආගමෙනුත්, ඔබ සංවිධානයට තිබෙන වගකීමෙනුත් නිදහස් වෙනවා කියා.

ෂරියා නීතිය ගැන ඔබගේ අදහස?

ෂරියා කියන වචනය දාලා තමයි දැන් බය කරන්නේ. ෂරියා කියන අරාබි වචනයේ අර්ථය නීති පද්ධතිය කියන එක. ඉස්ලාම්වල ෂරියා නීතියේ කොටස් 2 යි. සිවිල් සහ අපරාධ යනුවෙන්. ඔය අපරාධවලට දඬුවම් කරන ෂරියා නීතිය ක්‍රියාත්මක විය යුත්තේ ඉස්ලාම් රාජ්‍ය පාලන අධිකාරියක් සහිත රටවල්වල තමයි ඒක. ක්‍රියාත්මක විය යුත්තේ. එම ෂරියා නීතිය ශ්‍රී ලංකාව වගේ රටවල්වල ක්‍රියාත්මක කරන්න ඉස්ලාමීය අවසරයක් නැහැ. මොකද මේක සිංහල බෞද්ධ රටක් නිසා.

එහෙනම් දැනටමත් සිවිල් ෂරියා නීතිය ක්‍රියාත්මකයි.

ඔව්. කුරාණයේ නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට තමයි ෂරියා නීතිය කියන්නේ. සාගල රත්නායක ඇමැතිවරයා 2016 දී වරක් කිව්වා මේ නීතිය සංශෝධනය කරන්න ඕනෑ. යුරෝපා සංගමයේ අවශ්‍යතාවට අනුව වෙනස් වෙන්න ඕනෑ කියා.

එතකොට තමයි අපි කිව්වේ යුරෝපා සංගමයේ වුවමනාවට මේ ෂරියා නීතිය ඉවත්කරන්න එපා කියා.

දැන් ඇති වී තිබෙන තත්ත්වය මත සිංහල, දෙමළ ප්‍රජාව අතරින් මුස්ලිම් ප්‍රජාව වෙන්වෙන මට්ටමක් දක්වා වර්ධනය වීම වළක්වන්න ඔබේ යෝජනා මොනවද?

දැන් සර්වාගමික සමුළු තියලා කතා පවත්වලා අඬලා යනවා. එහෙම නෙවෙයි. අපි මේ සඳහා පෙර සිටම ක්‍රියාමාර්ග 2 ක් ගත්තා. ලේ දන්දීම් කඳවුරු කළා. ජමෙයිතුල් උලමා මුස්ලිම් සංගමය කිව්වේ ලේ දන්දෙන එක තහනම් බවයි. අපි කිව්වා ලේ දන්දෙන එක තමයි ඉස්ලාම් දහමේ උතුම්ම කර්තව්‍යය කියා. ලේ දන්දීමේ කඳවුරු පවත්වා ලේ ඥාතීත්වය ඇති කරන යෝජනාව අපි ගෙන ආවා. අනිත් කාරණය අපි නිවැරදි අවබෝධය දෙන්න ඕන. කතෝලික ජනතාව කැඳවලා, භෝජන සංග්‍රහයකුත් දීලා අපි එකතුවෙලා ප්‍රශ්න කතා කරන්න ඕනේ.

ඔය විදිහට ඥානසාර හාමුදුරුවෝ එක්කත් කටයුතු කරන්න තිබුණනේ?

උන්වහන්සේ අපිව දකින්නේ හතුරෝ විදිහටනේ. උන්වහන්සේගේ මතයම බොහෝ දුරට අපත් අනුමත කරනවා. නිකාබ් එපා, හලාල් එපා.

ඔබ දේශපාලනයට එන්නද මේ සූදානම?

නැහැ. මම කවදාවත් දේශපාලනයට එන්නේ නැහැ. තව දෙයක් කියන්න ඕනේ. දැන් කඩු අහුවෙනවා කියනවා. එක තවුහිද් පල්ලියකින් හරි කඩු හම්බවුණාද, නැහැනේ. කඩු හම්බවුණේ සාම්ප්‍රදායික මුස්ලිම් පල්ලිවලින්. මේවා කරන්නේ දේශපාලන යටි අරමුණු තිබෙන අය.

සිසේරියන් සිද්ධීන්වලට වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගැන අදහස?

සැත්කම් පිළිබඳ සිද්ධියේදී ලැබිලා තිබෙන පැමිණිලි විභාග කරලා, පරීක්ෂණ පවත්වා තහවුරු වනතුරු එම වෛද්‍යවරයා වැරදිකරුවකු කරන්න එපා කියන එක අපේ ඉල්ලීමයි.

මුස්ලිම් අයට වෙනම ම පාසල් මොකටද පොදුවේ ඉගෙන ගන්න බැරිද?

පොදු පාසල් ක්‍රමය අපි පිළිකෙව් කළේ නැහැ. පොදු පාසල් තිබෙනවා නම් තියාගන්න. එහෙත් කතෝලිකයන්ට පාසල් තිබෙනවා. මුස්ලිම් පාසල් තිබෙනවා. ඒ වගේම තවත් විවිධ පාසල් තිබෙනවා.

එහෙම පාසල් වර්ග කරන්න ඕනෑද?

එහෙම ඕන නැහැ. මිශ්‍ර පාසල් තිබුණාට කමක් නැහැ. ඒත් අපි ඒකට කැමැත්තක් නැහැ. ගැහැනු පිරිමි දෙගොල්ලම එකට ඉන්න පාසල්වලට. ඒකෙන් අධ්‍යාපන මට්ටම බිඳවැටෙන බවයි අපේ අදහස.

එතකොට මද්‍රසා පාසල්?

ඒක වෙනම කතාවක්. මිශ්‍ර පාසල් තියාගන්න ඕන නම් තියාගන්න. කමක් නෑ. අපිට ඕන ආගම අනුව පාසලක් කියා හිතනවා නම් තියාගන්න. ඒත් කමක් නැහැ. ඒත් ප්‍රශ්නය එන්නේ එ්වා විතරක් තියාගන්න ඕන, මෙය තියාගන්න බෑ වැනි පරස්පරතා එනකොටයි.

මද්‍රසා කියන්නේ ආගමික පාසල්. ඒක දහම් පාසල් වගේ ආගමික ඉගැන්වීම් කරන එකක්.

ඒවායේ ඉගැන්වීමට විදේශිකයන් එන්නේ ඇයි?

විදේශිකයන් උගන්වන එකට අපිත් විරෝධය දක්වනවා. ලංකාවේ ඉන්නවා ඕනෑතරම් අරාබි භාෂාව දන්න අය. විදේශිකයන් එනවා නම් නීත්‍යනුකූල ක්‍රමවේදයකට පැමිණිය යුතුයි.

බුද්ධ භාෂිතය උගන්වන පිරිවෙන් තිබෙනවා වගේ ශුද්ධ වූ කුරාණයේ මූලික ලියැවිල්ල ඉගෙන ගන්න අපට අරාබි භාෂාව අවශ්‍යයි. ඒ සඳහායි මද්‍රසා පාසල් තිබෙන්නේ. ඒවා අනිත් ඒවත් එක්ක පටලවා ගන්න එපා. මද්‍රසා පාසල් අවශ්‍යයි.

රටේ ලේ වැගිරීමක් වෙනකම් මේ ප්‍රශ්න ඔඩුදුවන්න දෙන්නේ නැතිව මේවා ගැන මුලින් ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් ඔබ සංවිධානයට තිබුණා?

අපි දැනුවත් කළා. ඔය සහරාන් කියන පුද්ගලයා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කලක් කටයුතු කරගෙන ගියා. ඒ අතර ඔහු මුහුණු පොතේ වීඩියෝ පළ කරමින් සිටියා. එක අවස්ථාවකදී ඔහුගේ මතවාදය වෙනස් වුණා. එකවරම ජිහාඩ් මතවාදයක් කතා කරන්න ගත්තා. එතකොට ඔහු ගැන අපි ආරක්ෂක අංශවලට තොරතුරු දුන්නා. ඒ 2017 අවුරුද්දේ ඔහුගේ වීඩියෝපටත් දුන්නා. ඒත් පළක් වුණේ නැහැ. තොරතුරු දුන්නේ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයට.

කාටද දුන්නේ?

නිලධාරිවරුන්ට

ඔවුන්ගේ නම් මතක නැද්ද?

නම් කියන්න ඕන නැහැනේ. ඔවුන් කරන්නේ රැකියාවක්නේ.

2017 කළේ පැමිණිල්ලක්ද?

පැමිණිල්ලක් නොවේ ‘වට්ස්ඇප්’ වීඩියෝවලින්, වීඩියෝ යැව්වා. ඊට පසු දුරකථනයෙන් කතාකොට කිව්වා. ඒ 2017 වර්ෂයේ අග භාගයේදීයි.

ඔබ ජිහාඩ්වලට විරුද්ධද?

ඔව්. ජිහාඩ් කියන්නේ මුස්ලිම් රටක් තුළ නිල හමුදාවටයි. අපි මේ රටේ සංස්කෘතියට එකඟව කටයුතු කළ යුතුයි. ඔබ බලන්න අපි තොප්පි දාන්නේ නැහැ. ඒ වගේම අනිත් අයට තොප්පි දාන්න යන්නෙත් නැහැ.

ඔබව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවටත් තොරතුරු අනාවරණය වෙනවා?

එහෙම කතාබහක් යනවා. ඥානසාර හාමුදුරුවෝ තමයි ඒක අවධාරණය කරන්නේ. අසාද් සාලිත් කියනවා. මේ දෙන්නා අතර මොනවගේ පදනමක් තිබෙනවද කියලා අපි දන්නේ නැහැ. වැරදි කළොත් තමයි අත්අඩංගුවට ගන්න ඕන. අපි වැරදි කරලා නැති නිසා බයක් නැහැ.

(Aruna)