Thursday, July 03, 2025
Follow Us
ප්‍රජා ඵලදායී ආදර්ශ ගම්මාන වැඩසටහනට අනුමැතිය
Clean Sri Lanka ජාතික ව්‍යාපෘතියට සමගාමිව එහි අරමුණු දීප ව්‍යාප්තව සාක්ෂාත් කර ගැනීම සඳහා උපායමාර්ගික මෙවලමක් වශයෙන් 2025, 2026 සහ 2027 වර්ෂයන්හිදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම එක් ගමක් (පවුල් 50ක් ආසන්න වශයෙන් පදිංචි) බැගින් තෝරා ගෙන සහභාගිත්ව ග්‍රාමීය ප්‍රවේශය පදනම් කර ගනිමින් ප්‍රජා ඵලදායි ආදර්ශ ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර එය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම වැඩසටහන මඟින් අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, ගෘහස්ථ කළමනාකරණය හා සමාජ යහපැවැත්ම, සංස්කෘතිය හා අධ්‍යාත්මික සංවර්ධනය සහ පාරිසරික සංරක්ෂණය යන ක්ෂේත්‍රයන් යටතේ හඳුනා ගනු ලබන ආදර්ශ නිර්ණායක මත පදනම්ව, තෝරා ගනු ලබන ගම්, ප්‍රජා ඵලදායි ආදර්ශ ගම්මාන වශයෙන් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්‌ගේ සහයෝගයෙන් යෝජිත වැඩසටහන සඳහා සුදුසු ගම් තෝරා ගැනීම තෝරාගනු ලබයි. එලෙස තෝරා ගනු ලබන සෑම ගමක්ම නියෝජනය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු රේඛීය අමාත්‍යාංශවලට අයත් සියලු ක්ෂේත්‍ර නිලධාරින් බලගන්වමින් ඔවුන් හරහා ගමේ ජනතාවගේ අවශ්‍යතාවන් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස සම්පූර්ණ කිරීම මෙම වැඩසටහන යටතේ අපේක්ෂිතය. 

ඒ අනුව, යෝජිත මෙම වැඩසටහන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරේ.