1990 අංක 23 දරන විශ්රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්රම පනත ප්රකාරව 2025 නොවැම්බර් මස 21 දින සිට නව ධීවර විශ්රාම වැටුප් යෝජනා ක්රමයක් ධීවර ප්රජාව වෙත හදුන්වාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය සහ කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශය සමඟ එක්ව සාමූහික ව්යාපෘතියක් ලෙස ධීවර ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් කඩිනමින් නව ධීවර විශ්රාම වැටුප් යෝජනා ක්රමය ජනගත කිරීමට සියලුම කටයුතු සම්පාදනය කොට ඇති අතර එය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ක්රියාත්මක කරනු ලැබේ.
මෙම යෝජනා ක්රමය මඟින් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමත් සමග මෙම නව ධීවර විශ්රාම යෝජනා ක්රමය යටතේ විශ්රාම වැටුප් ලබාගැනීමට හැකිවන අතර විශ්රාම ලබාගනිමින් සිටියදී ප්රතිලාභියා මියගිය විට කලත්රයාට විශ්රාම වැටුප් ලබා ගැනීමට හැකිවීම මෙහි විශේෂත්වය වේ. තවද, විශ්රාම වැටුප් වයස අවුරුදු 60 න් පසුව එළඹෙන එක් එක් වයස් සීමාවලදී වැඩිවීම ද මෙම ධීවර විශ්රාම වැටුප් යෝජනා ක්රමය යටතේ ප්රතිලාභියාට ලැබෙන තවත් සුවිශේෂී වරප්රසාදයක් වේ.
කිසියම් හේතුවක් මත දායකයාට සම්පූර්ණ දායක මුදල් ගෙවීමට නොහැකිව, ගෙවා ඇති දායක මුදල 25%ක් හා 74%ක් අතර වන අවස්ථාවලදී දායක මුදල් ගෙවීමේ කාලය අවසන් වූ විට ශුද්ධ දායක මුදල් ප්රමාණය මත මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පොලී මුදලක් සමග අදාළ මුදල නැවත දායකයාට ලබාගැනීමට හා විශ්රාම වැටුප් ලබා ගැනීමට පෙර ස්ථිර/අර්ධ බෙලහීනතාවයකට පත්වූ විට මෙම යෝජනා ක්රමය මඟින් බෙලහීන ප්රතිලාභ ලබා ගැනීමට ද මෙම යෝජනා ක්රමයට දායක වන ධීවරයින්ට අවස්ථාව සලසාදී ඇත.
2025 ලෝක ධීවර දින සැමරුම වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුණ පරිශ්රයේ පැවැත්වෙන පැවැත්වෙන ප්රදර්ශනය හා සමගාමීව මෙහි සමාරම්භක උත්සවය 2025.11.21 දින අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් හා කෘෂිකර්ම, ඉඩම් හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතාගේ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් හා නියෝජ්ය අමාත්ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.