Tuesday, November 18, 2025
Follow Us
දේශීය පාවහන් කර්මාන්තකරුවන්ට ‍අවස්ථාව

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට සිසුන් 250ට අඩුවෙන් සිටින පාසල් මූලික කරගෙන පාසල් සපත්තු මිලදී ගැනීම සඳහා ලබා දෙන වවුචර්පත මගින් දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී  ඇති තිබේ.

මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලාවේ දී සාකච්ඡාවක් පැවැත්විය.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය එක්ව නව ව්‍යාපෘතියක් ලෙස දියත් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ දී සිසුන් 250ට අඩුවෙන් සිටින පාසල්, සිසුන් 251 -500 අතර සිටින වතු පාසල්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින පාසල් සහ පිරිවෙන් ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු පාසල් සිසු සිසුවියන්ට දේශීය ව නිෂ්පාදනය කරන ලද පාසල් සපත්තු මිලදී ගැනීමට අවස්ථාව හිමි වනු ඇත. ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය මගින් මෙම පාවහන්වල ප්‍රමිතිය නිරීක්ෂණය කරනු ලබයි.

 මෙම ව්‍යාපෘතිය සඳහා කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ලියාපදිංචි දේශීය නිෂ්පාදකයින් පමණක් තෝරා ගන්නා අතර, වසරක වගකීමක් යටතේ ගුණාත්මක සපත්තු සැපයීමට නිෂ්පාදකයින්  එකඟ වී ඇති බවත් පාසල් වෙත සෘජු ව ම අළෙවිකරුවන් යෑම නිසා සිසුන්ට නිවැරදි ප්‍රමාණයේ සපත්තු තෝරා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් කර්මාන්ත සහ සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අග්‍රාමාත්‍යවරිය ඉදිරියේ සඳහන් කළේ ය.

මෙහි නියමු ව්‍යාපෘතිය යටතේ බස්නාහිර සහ දකුණ යන පළාත්වල පාසල් තෝරාගෙන ඇති අතර එහි  ශක්‍යතා අධ්‍යයනයෙන් පසුව අනෙකුත් පළාත්වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සුදුසු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා ය.  

මෙම රැස්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.