Friday, November 14, 2025
Follow Us
ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය පිළිබඳව දැනුවත් කිරීමේ සතිය නොවැම්බර් 18 සිට 24 දින දක්වා

ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය දැනුවත් කිරීමේ සතිය - 2025 (World Antimicrobial Resistance Awareness Week – WAAW- 2025) නොවැම්බර් 18 සිට 24 දින දක්වා යෙදී ඇත.

ඒ වෙනුවෙන්  සංවිධානය කරතිබූ  ජාතික උත්සවය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.

"අදම ක්‍රියාත්මක වෙමු. අපගේ වර්තමානය ආරක්ෂා කර ගනිමු. අපගේ අනාගතය සුරක්ෂිත කරමු" (Act Now: Protect Our Present, Secure Our Future) යන්න තේමා කර ගනිමින් මෙවර ජාතික උත්සවය පැවැත්වුණු අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිජීවක ප්‍රතිරෝධය වැළැක්වීම පිළිබඳ ජාතික කේන්ද්‍රස්ථානයේ ප්‍රධානී මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතාගේ මූලිකත්වයෙන් එම අංශය මගින් මෙම උත්සවය  සංවිධානය කර තිබුණි.

මෙහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය දැනුවත් කිරීමේ සතිය වෙනුවෙන් පැවැත්වෙන මෙම ජාතික උත්සවයට ආරාධනා කිරීම පිළිබදවත්, කාලීනව  අතිශය වැදගත් මාතෘකාවක් යටතේ පැවැත්වෙන මෙම උත්සවයේ දී අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම පිළිබදවත් තමන් සතුටට පත්වන බව පැවසීය.

ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය බොහෝ අවස්ථාවන්හි දී  "නිහඬ වසංගතයක්" ලෙස හැඳින්විය හැකි  බව සදහන්කල අමාත්‍යවරයා  නමුත් එය නිහඩ නොවන වසංගතයක් බවද කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.

එමෙන්ම ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය අභියෝගයක් බව සදහන් කළ අමාත්‍යවරයා එය පැතිකඩ දෙකකින් තමන් දකින බවත්, ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයට නායකත්වය ලබා දෙන්නෙකු සහ  සන්නිවේදකයෙකු ලෙසින් බව ද   පැවසීය.

රෝහල් සහ රසායනාගාර ශක්තිමත් කිරීම,  ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය අඳාළ වැඩසටහන් සඳහා සෘජුව සහාය වීම, ආසාදන වැළැක්වීම සහ පාලනය ප්‍රවර්ධනය කිරීම, ඖෂධ නියාමනය සහතික කිරීම වැනි ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය මෙහි දී අවධාරණයකල නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිජීවක යනු සියලු රෝග සඳහා ප්‍රතිකාරයක් නොවන බව මෙරට පුරවැසියන් දැනගෙන  සිටිය යුතු බවද පැවසීය.

එකම අරමුණක් වෙනුවෙන් (One Health) අන්තර් අමාත්‍යාංශ, ආයතන එක්ව සිදුකරගෙන යනු ලබන මෙම විශිෂ්ට ක්‍රියාන්විතය සාක්ෂාත්කර ගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් අප සියලු දෙනා එක්ව කටයුතු කලයුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය (ප්‍රති ජීවක ප්‍රතිරෝධය) (AMR) යනු බැක්ටීරියා, වෛරස්, දිලීර සහ පරපෝෂිතයන්ගේ යම් යම් වෙනස්වීම් හේතුකොට ගෙන ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ මගින් විනාශ නොවීමට පෙළඹීම නිසා ඇතිවන සංසිද්ධියකි. මෙය ගෝලීය සෞඛ්‍යයට සහ සංවර්ධනයට බලපාන තර්ජනයක් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය / ප්‍රති ජීවක ප්‍රතිරෝධය මානව වර්ගයා මුහුණදෙන ප්‍රමුඛ ගෝලීය මහජන සෞඛ්‍ය තර්ජන දහයෙන් (10) එකක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධ දැනුවත් කිරීමේ සතිය තුළ දී ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය පිළිබඳව දැනුවත්භාවය සහ අවබෝධය ඉහළ නැංවීම මෙන්ම  ඖෂධ-ප්‍රතිරෝධී ආසාදන මතුවීම සහ පැතිරීම අවම කිරීම, සුදුසුම ඖෂධ භාවිතය ප්‍රවර්ධනය කිරීම් සිදු කරනු ලබයි.

ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය හේතුවෙන් 2019 වසරේ සිදු වූ මරණ ගණන මිලියන 1.27 ක් ලෙස අනුමාන කර තිබුණ ද සිදු වූ මරණ ගණන මිලියන 4.95 ක් බව ද මෙම ප්‍රවණතාවය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත්, 2050 වන විට ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය හේතුවෙන් වාර්ෂිකව මිලියන 10 ක ජනතාවක් මිය යනු ඇතැයි අනුමාන කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිජීවක ප්‍රතිරෝධය වැළැක්වීම පිළිබඳ ජාතික කේන්ද්‍රස්ථානයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා මෙහි දී පෙන්වා දෙන ලදි.

මෙහි දී පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එච්.එම්.ජී අබේකෝන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය නියෝජනය කරමින් Dr. Momoe Takeuchi, ශ්‍රී ලංකාවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට  නියෝජිත විමලේන්ද්‍ර ෂරන්,    ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීව විද්‍යා විද්‍යායතනයේ සභාපතිනී ආචාර්ය ජයන්ති ඇල්විටිගල, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය කේ.කේ. සරත්,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.ඒ.ආර්.ටී වික්‍රමආරච්චි, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.අරුලනන්දන්, යන මහත්ම මහත්මීන් ද  තම ක්ෂේත්‍රයන්ට අදාළව ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය පිළිබඳව විශේෂ දේශණ මෙහි දී පවත්වන ලද අතර ම පිරිස වෙත සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් සමරු තිළිණ ප්‍රදානය ද මෙහිදී සිදු විය.