Thursday, May 15, 2025
Follow Us
කාන්තාවන්⁣ට සේවා ස්ථානය ආරක්ෂිත තැනක් බවට පත්කිරීම අතිශය වැදගත් - අගමැතිනී

රැකියාවේ නිරත කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු විය යුතු බවත්, රැකියා ස්ථානත තුළ කාන්තාවන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මහනුවර කරළිය ශාලාවේ අද (15) පැවැති සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කළ ජාත්‍යන්තර හෙද දිනය - 2025 සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

හෙද වෘත්තිය හඳුන්වා දුන් ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ 205 වන උපන්දිනයත්, ලෝකය පුරා හෙද හෙදියන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කරන සාකච්ඡා මණ්ඩපයක් නිර්මාණය කර ගැනීමත්, හෙද හෙදියන් සැමරීමත් අරමුණු කර ගනිමින් "අපේ හෙදිය අපේ අනාගතයයි - හෙදියන් රැක බලාගැනීම ආර්ථිකය ශක්තිමත් කරයි" යන තේමාවෙන් මෙවර ජාත්‍යන්තර හෙද දිනය සමරනු ලැබීය.

හෙද වෘත්තීය පිලිබඳ ලියැවුණ "හෙදකම" සඟරාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත පිරිණැමීම ද මෙහිදී සිදු කෙරිණ.

වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

හෙදියන් හැටියට ඔබ දරන වගකීමත් ඔබේ සේවය ගැන හිතන්න හොඳ අවස්ථාවක් අපි සියලු දෙනාට අද ලැබිලා තිබෙනවා.

මමත් ප්‍රවාහන අමාත්‍යතුමාත් පසුගියදා ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරින් තුවල ලැබූ පිරිස බලන්න ගම්පොළ රෝහළටත්, පේරාදෙණිය රෝහලටත් ගියා. මම රෝහලකට ගිය පළමු අවස්ථාව එය නොවුණත්, රෝහලකට යන හැම වතාවකම මාව පුදුමයට පත් කරන්නේ අපේ හෙද සහෝදරියන් එතන කරන ඒ කැපවීම හා ඔවුන් ලබා දෙන සේවාව. මගේ මව රෝගාතුර වෙලා රෝහල් ගත කරපු අවස්ථාවේත් හෙද සොහොයුරියන්ගේ කැපවීම මම පුද්ගලිකව දැක්කා.

ගම්පොල සහ පෙරාදෙනිය රෝහල්වල දි මම ඒ හෙද සහෝදර සහෝදරියන් එක කතා කළා. එහිදී හෙද හෙදියන් මුහුණ දෙන ඒ දුෂ්කරතා මට හොඳින් පැහැදිලි වුණා. එක හෙද සහෝදරියක් කිව්වා දින දෙකක් එක දිගට රාත්‍රි සේවය සිදු කරනවා කියලා. මම ඇහුවා එතකොට පවුල කොහෙද කියලා ඒ සහෝදරිය හිනාවුණා, පවුලක් ගැන හිතන්නවත් වෙලාවක් නෑ. දරුවෝ අම්මා බලාගන්නේ, මහත්තයා අන්තිමට දැකපු දවස මතක නැහැ, එහෙම කැපවීමක් ඇතිවයි ඔවුන් සේවය කරන්නේ.

ඇත්තටම මේ විදියට වැඩ කරන එක සෞඛ්‍යයට කොච්චර හිතකරද? අපි වැඩ කරන්නේ සර්ව සම්පූර්ණ සියලු දෙයක්ම හොඳට තියන තත්ත්වයක් තුළ නෙවෙයි. කඩාවට්ටපු, කඩා වැටිච්ච සිස්ටම් එකක් නැවත ගොඩ නගන තත්වයක අපි ඉන්නේ.

හෙද වෘත්තියෙන් සියයට 95ක් කාන්තාවන්. මේක කාන්තාවන්ට විතරක් සුදුසු දෙයක් හෝ කාන්තාවන් විතරක් කරන දෙයක් කියලා මම හිතන්නෑ. අපිට ටිකක් හිතන්න වෙනවා සීයට අනුපහක් කාන්තාවන් වුණේ කොහොමද කියලා?

ගැහැණුන් හැටියට අපිට මොකක් හරි ස්වාභාවික හැකියාවක් තියෙනවද කියලාත් මම කල්පනා කළා.

ඕනම රැකියාවක් තුළ රැකියාවේ සුරක්ෂිත භාවය ගැන කතා කරනකොට වැටුප ගැන පමණක් නෙවෙයි. කාන්තාවන්ට රැකියාව කරගෙන යන්න තියෙන සුරක්ෂිත පරිසරය, වැඩ කරන තැන තියෙන ආරක්ෂාව පිළිබඳවත් අපි හිතන්න ඕන. වැඩ කරන පරිසරයේ විවිධ හේතූන් නිසා අනාරක්ෂිත වෙන අවස්ථා තිබෙනවා. රෑ වැඩ මුර, පාළු ස්ථාන, ප්‍රවාහන පහසුකම් අපහසුතැන්වල, තමන්ට වඩා බලවත් අය බලපෑම් කරන තැන්වල කාන්තාවන්ට බොහෝ දුරට වැඩ කරන්න වෙනවා. එවැනි අවස්ථාවල ඔබේ ආරක්ෂාව තහවුරු කරන එක මං හිතන්නේ අතිශයින්ම වැදගත්.

ඒ වගේම කාන්තාවක් විදිහට වෘත්තිය සහ පවුල් ජීවිතය සමබරව කරගෙන යන්න ඕන. ඒ සඳහා අවශ්‍ය සමාජ වටපිටාවක් වගේම පහසුකම් අවශ්‍යයි. කාන්තාවන් ලෙස භාරගන්න වගකීම් ඉටු කරන්න මොනවගේ පහසුකම් ද, සහයක්ද ලබා දෙන්නේ කියන එක ගැන අපි හිතන්න ඕන. ජීවිතය කියන්නේ මුදල් විතරක් නෙමෙයි සතුට සැනසීම සියල්ලම ඇතුලත් වෙනවා. එවැනි ජීවිතයක් ලබා ගන්න පුලුවන් සමාජයක් ගොඩ නගන්නයි අපි උත්සාහ කරන්නේ. අමාරු තෝරාගැනීමක් සිදු කරන්න නෙමෙයි පහසු ජීවිතයක් තෝරාගත හැකි සමාජයක් අපි ගොඩනගන්න අවශ්‍යයි.

හෙද තේමා පාඨයේ ආර්ථිකය ශක්තිමත් කරන හෙදිය ගැන සදහන් වෙනවා. ඒත් සිදුවෙන්න ඕන හෙදිය ශක්තිමත් කරන ආර්ථිකයක් අපි ගොඩ නගන්නයි අවශ්‍ය වෙන්නේ. ජනතාව ආර්ථිකය ගොඩ නගන උපකරණයක් වෙනවා නම් කොහොමද අපිට පහසු ජීවිතයක් ලැබෙන්නේ. ආර්ථිකය ශක්තිමත් කරලා සැම⁣ට සමාන අවස්ථා, පහසුකම් හිමිවෙන සමාජයක් නිර්මාණය කර දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.