Thursday, December 26, 2024
Follow Us
විගමනික ශ්‍රමිකයින්ට ඉහළ වැටුප් ගන්න වැඩපිළිවෙළක්

රැකියා සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ගේ කුසලතාවය ඉහළ නැංවීම තුළින් ශ්‍රමිකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විගමනික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, රැකවරණය හා සුභසාධනය යන ප්‍රධාන කරුණු මූලික කරගෙන ක්‍රියාත්මක වන ආයතනයක් වුවත්, පසුගිය සමයේ ඊට පරිභාහිරව වෙනත් කාර්යයන් කර ඇති බව අනාවරණය වී ඇති බව සභාපතිවරයා පැවසීය.

සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ තුනකට ආසන්න ශ්‍රමිකයන් ප්‍රමාණයක් විදේශගත වන අතර ඔවුන්ගේ සුභසාධනය සහ නිපුණතාවය වෙනුවෙන් නව ක්‍රියාමාර්ග රැසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්, ලෝකයේ අනෙකුත් රටවල ශ්‍රමිකයින්ට ලබාදෙන වැටුපට සමාන මුදලක් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීම වෙනුවෙන්ද ඉදිරියෙදී පියවර ගන්නා බව කෝශල වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. එසේම ලෝකයේ වැඩිම ඉල්ලුමක් පවතින රැකියා අවස්ථා සඳහා මෙරටින් පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීමට කාර්යාංශය පුහුණු වැඩපිළිවෙලක් සැකසීමට කටයුතු කරන බව ද මෙම හමුවේ දි අවධාරණය කරන ලදී.

මෙරට කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුවීමේ අඩුවක් පෙන්නුම් කලද, විදේශ රැකියාවල නිරතවන ශ්‍රමිකයින් නීත්‍යානුකූලව මෙරටට යොවනු ලබන ප්‍රේෂණ ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර 2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ප්‍රේෂණ 15.7% කින් ඉහළ ගොස් තිබෙන බවත්, 2024 මෙරට අපේක්ෂිත ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 6000 ඉක්මවනු ඇති බවත් අපේක්ෂා කරන බව සභාපතිවරයා සඳහන් කළේය. එසේම පසුගිය රජය මගින් ක්‍රියාත්මක කරන ලද Duty free (තීරුබදු) වැඩසටහන මෙම රජය මගින් ක්‍රියාත්මක නොකරන බවත්, පසුගිය රජය විසින් එය ක්‍රියාත්මක කරන ලද්දේ මෙරටට විදේශ ප්‍රේක්ෂණ ඇද ගැනීමට බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය සමයේ වඩාත් කතාබහට ලක්වූ E-8 වීසා කාණ්ඩය යටතේ රැකියා නොදෙන බවත් එයට කිසිදු ආකාරයකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමත් නොමැති බවත්, එසේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකාරන පුද්ගලයින්ට නොරැවටෙන ලෙසත් සභාපතිවරයා ඉල්ලා සිටි අතර, EPS – E9 වීසා කාණ්ඩය යටතේ ශ්‍රි ලාංකිකයින්ට හිමිවන දකුණු කොරියානු රැකියා කෝටාව වැඩිකර ගැනීමට අදාල පාර්ශවයන් සමග සාකච්ඡා කරන බවද පැවසීය.

විගමනික ශ්‍රමිකයින්ගේ ප්‍රශ්න, ගැටලු, අසාධාරණකම් පිළිබඳ පැමිණිලි කිරීමට ස්ථාපිත කරන ලද “සභාපතිට කියන්න” ඒකකයේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් දැනුවත් කළ අතර, ඒ ඉන් පැමිණිලි 500 ක පමණ ප්‍රමාණයක් සඳහා ක්ෂණිකව විසඳුම් ලබා දී ඇති අතර, තවදුරටත් කාර්යාංශය වෙත යෝජනා, චෝදනා හා විය යුතු යාවත්කාලීනවීම පිළිබඳ තොරතුරු ද දන්වා එවන ලෙස ඉල්ලා සිටියේය.

පෙර පැවති රජයන් කිසිදු ප්‍රමිතිකරණයකින් තොරව දේශපාලන වාසි තකා පුද්ගලයින් හිතුමතේ ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුකර ඇති අතර, එසේ පිටත් වූ පුද්ගලයින්ට එම ස්ථානය වල වැඩ කිරීමට නොහැකි වූ නිසා එරටින් ශ්‍රි ලාංකිකයින්ට ලබා දෙන රැකියා කෝටාව අඩුවූ හෙයින්, නිශ්චිත කුසලතා පරීක්ෂණය සමත් වූවන්ට පමණක් ඊශ්‍රායලයේ රැකියා ලබාදීමට කටයුතු කර ඇති බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Dinamina