Saturday, October 05, 2024
Follow Us
ලෝක රොබොටික්ස් රන් පදක්කම ශ්‍රී ලංකාවට

ග්‍රීසියේ පැවති 06 වැනි ලෝක අභියෝග්‍යතා රොබෝටික්ස් තරගාවලියට (06th Global Challenge Robotic Competition) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ සිසුන් 05 දෙනෙක් ඉංජිනේරු නිර්මාණයක් (Engineering Disign Best in World) ඉදිරිපත් කර එම තරගාවලියේ ලෝකයේ විශිෂ්ටතම ඉංජිනේරු නිර්මාණයට හිමි ප්‍රථම ස්ථානයට පත් වෙමින් රන් පදක්කම දිනාගෙන පෙරේදා (30) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. මෙම තරගාවලිය ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී ඉකුත් 26 වැනිදා සිට 29 වැනිදා දක්වා ලෝකයේ රටවල් 193ක තරගකරුවන් 1,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වා තිබිණි.

එහිදී මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ ඉංජිනේරු නිර්මාණය ලෝකයේ සියලු රටවල් අභිභවා ප්‍රථම ස්ථානයට පත් වී තිබිණි. මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය කොලොම්බියාවටත් තෙවැනි ස්ථානය ඉන්දියාවටත් හිමි වී තිබිණි.

රවීන් අකුරැටියාව, තරුල් සේනානායක, හිවීන් රාමචන්ද්‍ර, සුපුල් බද්දේගම සහ මලීක රැඩිගල මෙම තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෝ වූහ.