Thursday, October 03, 2024
Follow Us

ශ්‍රී ලංකාවේ දිනකට නව රෝගීන් 15ක් පමණ හඳුනාගැනේ

ඔක්තෝම්බර් මාසය රෝස පැහැති මාසය වශයෙන් සලකනුයේ පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීම සඳහා විශේෂයෙන්ම නම් කර ඇති නිසාවෙනි. පියයුරු පිළිකා පිළිබද මාසයේ දී ඒ පිළිබඳව මනා ප්‍රචාරයක් ඔස්සේ සමාජය දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පාගමනක් සහ විශේෂ උත්සවයක් ඊයේ දින (02) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා මෙන්ම, කලාකරුවන් සහ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.


“හඳුනා ගනිමු. ප්‍රතිකාර ගනිමු. ජය ගනිමු.’’ මෙවර පියයුරු පිළිකා පිළිබඳ මාසයේ තේමාව වශයෙන් ගෙන ඇති අතර තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ කරන ලද පාගමන හැව්ලොක් සිටි දක්වා ගමන් කරන ලදී. එහිදී ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂ උත්සවයක් ද පැවැත්විණි.


සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා සිංහ සමාජය අනුග්‍රහය දක්වන ලද අතර, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් සංවිධාන, රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන ද සහයෝගීතාවය දක්වන ලදී.


වයස අවුරුදු 20 න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙසත්, වයස අවුරුදු 20 – 40 අතර කෙනෙක් නම් වසර 3 කට වරක් හා අවුරුදු 40 කට වැඩිනම් සෑම වසරකදීම සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.


එමෙන්ම පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේවල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාවයක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුලට ගිලී යාම (ළඟදී ඇති වුණු), පියයුරුවල වේදනාව, සමේ ඇති වන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට ද, ඒ සදහා සුවනාරී සායන, සුවදිවි සායන, පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන, සදහා යොමු විය හැකි බව වැඩිදුරටත් දැනුම් දෙයි.


මෙහිදී, අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ....
පියයුරු පිළිකා මාසයේ ආරම්භක වැඩසටහන මෙය බවත්, කාන්තාවන් අතර සුලභම පිළිකාව පියයුරු පිළිකාව බවත්ය. ලොව පුරා වාර්ෂිකව මිලියන 2.3 ක් පමණ පියයුරු පිළිකා රෝගීන් වාර්තා වන බවත්, ඒ අතරින් 670,000 ක් පමණ ජීවිතක්ෂයට පත්වන බවත්, ශ්‍රී ලංකාවේ ද දිනකට නව රෝගීන් 15 ක් පමණ හදුනාගන්නා බවත් 3 දෙනෙකු පමණ මිය යන බවත් පැවසීය.
පියයුරු පිළිකාව කල් ඇතිව හදුනා ගැනීමෙන් ප්‍රතිකාර කිරීමෙන් සුව කළ හැකි බවත්, ඒ සදහා සිදුකරන පරීක්ෂාවන් වලට අමතරව ස්වයං පියයුරු පරීක්ෂාව ද සිදු කර ගත යුතු බව පෙන්වා දුන් ලේකම්වරයා මෙම මාසය තුළ ලොවපුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 26 ම ආවරණය වන පරිදි වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් කීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයත් වෙනත් ජාත්‍යන්තර සංවිධානත් වෙනත් පිළිකා සදහා දිනයක් පමණක් නම් කර තිබෙන බවත්, පියයුරු පිළිකාව සම්බන්ධයෙන් මසක්ම නම් කර තිබෙන්නේ එහි වැදගත්කම නිසා බවත්, මෙම රෝග තත්වය කල් ඇතුව හදුනා ගැනීමෙන් වළක්වා ගැනීමට හැකියාව පවතින බවත් වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝ නොවන රෝග) වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්ම මහත්මීන්ද, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් සංවිධාන, රජයේ ආයතන, පෞද්ගලික ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වුහ.