Thursday, October 03, 2024
Follow Us
ඊශ්‍රායල් කෘෂි රැකියාවලට 2330ක් යයි

ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන අතර, ඒ අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 2330ක් ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

මේ අතර, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් 118 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම අද(02) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකෙරුණි.

මෙම පිරිස මේ මස 09,10,12 හා 13 දිනයන්හි ඊශ්‍රායලය බලා යාමට නියමිතය.

ඊශ්‍රායලයේ රැකියාවල නිරතව සිටින ශ්‍රි ලාංකිකයින්ට එරට පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ කිසිඳු කරදරයක් සිදුවී නොමැති බව එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින්ද තහවුරු කර තිබේ.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.